යහපත් දරුවකු මෙලොවට දායාද කිරීම උදෙසා පණ මෙන් රැක ගනිමු ඇය

දරුවකු මෙලොවට බිහි කිරීම යනු ස්වභාව ධර්මයේ එක්තරා ආශ්චර්යමත් සිදුවීමකි. එය ‘මානව ජීවිතයක’ ආරම්භය සනිටුහන් කරනු ලබයි. මාස නවයක් පුරා දරුවකු වර්ධනය කරමින්, පෝෂණය ලබා දෙමින් ලොවට, එළියට ගෙන එන්නට සුවිශේෂ ලෙස කාන්තා සිරුර හැඩ ගැන්වී ඇති අයුරු ජීව විද්‍යාවේ අපූර්වත්වය විදහා දක්වයි.


සෙනෙහස-ආදරය-රැකවරණයෙන් පිරිපුන් මේ ජෛව විද්‍යාත්මක සුන්දර ක්‍රියාවලිය අසුන්දර විය හැකි මානසික රෝග තත්ත්වයක් ලෙස ‘පරිජානන විෂාදය’ හෙවත් ‘පූර්ව හා පසු ප්‍රසව විෂාදය’ (perinatal depression) හඳුන්වනු ලැබේ. මෙම රෝගී තත්ත්වය එලෙස මෙතෙක් සමාජයේ වැඩි අවධානයට ලක් නො වුණු, එහෙත් වැඩි අවධානයක් යොමු විය යුතු, මානසික රෝග තත්ත්වයකි. කාන්තාවන් මෙම රෝගයට ගොඳුරු වීම නිසා, ඉන් ඇයගේ සෞඛ්‍යයට බලපෑමක් වනවා සේ ම අලුත බිහිවුණ දරුවාට ද ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ අනිකුත් සාමාජිකයනට ද අවසානයේ මුළුමහත් සමාජයට ම ඉන් වන අයහපත් බලපෑම සලකා මේ සම්බන්ධ සමාජය දැනුම්වත්වීම කිරීමේ ක්‍රියාව වඩාත් කඩිනම් කළ යුතු ව තිබේ.

 
‘අඳුරු වලා බිඳ’ නමින් වාර්තාමය චිත්‍රපටයක්, ‘පූර්ව හා පසු ප්‍රසව විෂාදය’ පිළිබඳ ව සමාජයේ දැනුම්වත් බව වැඩි කිරීම උදෙසා නිර්මාණය කොට තිබීම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. ඕෂිනි ශ්‍රී ජයසිංහ මහත්මිය “පරිජානන විෂාදය සහ අපේ රටේ ඒ සඳහා වන මනෝ සමාජීය මැදිහත්වීම” සම්බන්ධ ව පර්යේෂණ කරන සහ ඉහත නිර්මාණ කටයුත්තේ සැලකිය යුතු භූමිකාවක් හෙබවූ පර්යේෂිකාවක් වන අතර, මේ අපි ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.

‘පූර්ව හා පසු ප්‍රසව විෂාදය’ කියන රෝගය ගැන ශ්‍රී ලාංකික අපි සැලකිලිමත් විය යුත්තේ ඇයි කියලා මුළින් ම අපිට කියන්න පුළුවන් ද?

අපේ රටේ ගැබිනි හෝ දරු ප්‍රසූතියෙන් පසු පළමු අවුරුද්දේ පසුවන කාන්තාවන්ගෙන් දළ වශයෙන් 20%ක් දෙනා මෙම ‘පූර්ව හා පසු ප්‍රසව විෂාදය’ අත්විඳිනවා. ඒ කියන්නේ කාන්තාවන් පස් දෙනකුගෙන් එක් අයෙක් මෙම තත්ත්වයට ලක් වෙනවා. ඒක ඉතා ම බරපතළ තත්ත්වයක්.

ලෝකයේ ඉහළ ආදායම් ලාභී රටවල රෝගයට ලක් වීමේ ප්‍රවනතාව ඉතා ම අඩු අතර, අඩු ආදායම් ලබන රටවල මෙහි ප්‍රවණතාව ඉතා ඉහළයි. ශ්‍රී ලංකාවේ අපි දැනට රෝග තත්ත්වය සම්බන්ධයෙන් දක්වන අවධානය ඉතා ම අඩුයි. මෙම රෝගයේ ඇති අවාසනාවන්ත ම කරුණ වෙන්නේ මවක් රෝගී වීම, ඇයගේ ජීවිතයේ ගුණාත්මක තත්ත්වය පිරිහීම වගේ ම අලුත උපදින දරුවාගේ මානසික සහ කායික සෞඛ්‍යයට ද වර්ධනයට මෙන් ම සංවර්ධනයට (growth & development) ද ඉන් ඇතිවන අහිතකර බලපෑමයි. ඒ වගේ ම පවුලේ හා අවසානයේ ඉන් මුළු සමාජයට වන අහිතකර බලපෑමත් දක්වා එය දීර්ඝ වෙනවා.

පරිජානන විෂාදයට ගොඳුරු වූ කාන්තාවකගේ ලක්ෂණ කොහොම ද? අපි එවැනි අය ව හඳුනා ගන්නේ කොහොම ද?

විෂාදය සෑදුණු රෝගියකුගේ ලක්ෂණ මෙහි දී පෙන්නුම් කරනවා. දුකින්, කනස්සල්ලෙන් කලකිරීමෙන් එපා වුණු ස්වරූපයකින් සිටිනු දකින්නට පුළුවන්. නින්ද නොයාම, ආහාර රුචියේ වෙනස්කම්, අසාමාන්‍ය තෙහෙට්ටු බව, ශක්තිය අඩුවීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේ ම සමාජීය ක්‍රියාවලින් ඈත් වී සිටීම වෘත්තිය හා පෞද්ගලික වගකීම් මග හැරීම් වගේ දේවල් මෙවැනි මානසික තත්ත්වයක සිටින අයකු අතින් විය හැකියි. අලුත ඉපදීමට සිටින-ඉපදුනු දරුවා සමග බැඳීම නොසිතූ ලෙස දුරස්වීම, සියදිවි හානි කර ගැනීම හෝ ස්වයං හානි කර ගැනීමේ සිතුවිලි ඇති වීම සහ ඇතැම් විට ඒවා බරපතළ ඛේදවාචකයක් දක්වා දුර දිග යාම පවා සිදු විය හැකියි.

මෙවැනි රෝග තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්නේ කොහොම ද?

දරුවකු පිළිසිඳ ගැනීමේ සිට දරුවා බිහි කිරීම සහ ඉන් අනතුරුව රැක බලා ගැනීම කියන්නේ ගැහැනියකගේ ජීවිතයේ සුවිශේෂ ම අවස්ථාවක්; ඒක විශාල අභියෝගයක්. එම අභියෝගය සාර්ථක ව ජය ගැනීම ඉතා ම වැදගත්. ඊට ස්වාමිපුරුෂයා හෝ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගයත් බැඳී තිබෙනවා. එක්තරා ආකාරයකට ශ්‍රි ලාංකේය සංස්කෘතියේ දරුවකු ලැබීම සහ සම්බන්ධ සමාජ-සංස්කෘතික වටා පිටාව බොහොම ශක්තිමත්. සාමාන්‍යයෙන් ඇයට විශේෂ සැලකිල්ලක්-රැක බලා ගැනීමක් සමාජයෙන් නිතැතින් ම ලැබෙනවා. එහෙත් වර්තමාන සමාජ සංකීර්ණ වටපිටාවත් ඒ සමගම යාවත්කාලීන විද්‍යාත්මක දැනුමත් සමග මෙම සංස්කෘතික වටපිටාව තව දුරටත් ශක්තිමත් විය යුතු ව තිබෙනවා.

මෙම මානසික රෝග තත්ත්වයට ගැබිනි හෝ දරුවකු බිහි කළ මවක් ලක් විය හැකි බව අපේ සමාජය දැනුම්වත් ව සිටීම රෝගය ඇති වීම වළක්වා ගැනීමට වගේ ම රෝගයේ අහිතකර බලපෑම අවම කර ගැනීමට පිටුවහල් වෙනවා. පූර්ව දැනුම්වත් වීම නිසා, ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ඇයට ශක්තියක් විය හැකි ව තිබෙනවා. ඒ වගේ ම අපේ රටේ සිටින පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් විසින් මෙවැනි ලක්ෂණ තිබෙන කාන්තාවන් හඳුනා ගත හොත් ඔවුන් ව සෞඛ්‍ය සේවා සඳහා යොමු කිරීම සිදු කරනවා. එහි දී අවශ්‍ය වුව හොත් විශේෂඥ ප්‍රතිකාරවලට ද යොමු කිරීම් කරනවා.

සෞඛ්‍යමය මැදිහත් වීමක් අරමුණු කරගෙන වාර්තාමය ටෙලිනාට්‍යයක් (docu drama) නිර්මාණය කිරීම විශේෂ අවස්ථාවක් විධියට අපිට දකින්න පුළුවන්. ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ?
‘අඳුරු වලා බිඳ’ නම් වූ මෙම වාර්තාමය ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේ මූලික ම අරමුණ තමයි “ශ්‍රී ලංකික සමාජයේ මේ සම්බන්ධ ව පවතින දැනුම්වත් භාවය වැඩි දියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම වැඩි දියුණු කිරීම” යි. ප්‍රජාවේ දැනුම්වත් බව අඩුකම සහ මානසික රෝග තත්ත්වයට ලක් වන අයට සිදුවන ‘වෙනස්කොට සැලකීම’ නිසා මවුවරුන් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අඩුවක් දකින්නට ලැබෙනවා. මෙම නාට්‍ය නිර්මාණය කිරීමෙන් මාතෘ විෂාදය පිළිබඳ ව සමාජය දැනුම්වත් කිරීම වගේ ම සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම සිදු වේ යැයි අපි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ මවුවරුන් 1/5ක් පරිජානන විෂාද තත්ත්වය අත්විඳින නිසා, මෙම මනෝ-සමාජීය මැදිහත් වීම ඉතා වැදගත්.

මෙම කටයුත්තට අදාළ ව මුල්‍යමය සහ අනෙකුත් සංවිධානමය කටයුතු සිදු වෙන්නෙ කොහොම ද?

‘සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ විසින් ශ්‍රී ලංකාව තුළ කරන ලද  ENHANCE (Scaling-up Care for Perinatal Depression through Technological Enhancements to the ‘Thinking Healthy Programme’) පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ, කරන ලද පර්යේෂණ මත පදනම් ව මෙම වාර්තාමය ටෙලිනාට්‍ය නිර්මාණය කරන්නට අපි කටයුතු කළා.ENHANCE ව්‍යාපෘතිය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල මාතෘ පරිජානන විෂාදය සඳහා අනුමත කරන ලද ‘සුවපත් සිතුවිලි වැඩසටහන’ (thinking healthy programme),   දකුණු ආසියාවේ ක්‍රියාත්මක කිරීම සඳහා පර්යේෂණ කිරීම ඉලක්ක කර ගත් වැඩසටහනක්. 

එංගලන්තයේ පර්යේෂණ සඳහා මුල්‍යාධාර සපයන ජාතික සෞඛ්‍ය සහ සේවා පර්යේෂණ ආයතනයේ  (National Institute for Health and Care Research) මුල්‍යමය දායකත්වයෙන් මෙය ක්‍රියාත්මක වෙනවා.  

ENHANCE ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ කරන ලද පර්යේෂණ පදනම් කර ගෙන සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මෙන් ම රෝග තත්ත්වයෙන් පෙළි අත්දැකීම් ඇති මවුවරුන්ගේ අදහස් අනුව නිර්මාණය කරන ලද නිසා මෙම නාට්‍ය ශ්‍රී ලාංකික සන්දර්භය පිළිබඳ මනා අවබෝධයකින් නිර්මාණය කරන්නට අපිට හැකි වුණා.

ඒ වගේ ම මෙම නිර්මාණය ජනගත කිරීම ඔස්සේ අපේ පර්යේෂණ දැනුම ජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍ය සේවා සංවර්ධනය සහ පුළුල් කිරීම සඳහා ප්‍රතිපත්තිමය බලපෑමක් ඇති කිරීමත් අපේ ඉලක්කයක්.  Institute for Research and Development හි youtube චැනලයට පිවිසීමෙන් මෙම වාර්තාමය ටෙලිනාට්‍ය ඕනෑ ම අයකුට නැරඹීමට හැකියාව තිබෙනවා (link : )

ඕෂිනී ශ්‍රී ජයසිංහ
-ආචාර්ය උපාධි අපේක්ෂක, එක්සත් රාජධානියේ ලිවර්පූල් විශ්වවිද්‍යාලය

-පර්යේෂක, පර්යේෂණ සහ සංවර්ධන ආයතනය  

 සාකච්ඡාව- අරුණ ප්‍රශාන්ත වලිසුන්දර

Show quoted text

upoard karala mata link eka ewapan

Show quoted text