2025 අගෝස්තු මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුවට සමගාමී ව, නිවුන් දරුවන්ගේ සංස්කෘතිකමය දක්ෂතා/කලා හැකියාවන් එළි දැක්වෙන උත්සවය Twin Talent Fest ජුනි මස 14 වන දින බත්තරමුල්ල, ‘අපේගම’ පරිශ්‍රයේ දී පවත්වන ලදී. ගායන, නර්තන, චිත්‍ර යන අංශවලින් මේ තරග පවත්වන ලැබූ අතර, ජයග්‍රහයකයන්ට වටිනා ත්‍යාග සහ සහතික පත් ලබා දීමක් සිදු කෙරුණි . තව ද ජයග්‍රහණය කරනු ලැබූ නිවුන් දරුවන්ට, එම දක්ෂතා අගෝස්තු මස පැවැත්වෙන ජාත්‍යන්තර නිවුන් සමුළුවේ, ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් ඉදිරියේ එළි දැක්වීමට ද මින් අවස්ථාව හිමිවේ.
අතිශය ප්‍රථම වතාවට මෙරට පැවැත් වෙන ‘ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුව’, 2025 අගෝස්තු 10, 11 හා 12 යන දිනවල කොළඹ Cinnamon Grand Hotel හි දී පැවැත්වීමට නියමිත අතර, මෙරට විද්‍යාත්මක ක්ෂේත්රයේ සුවිශේෂ කඩඉමක් ලෙස එය හැඳින්විය හැකි ය. “ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ 20 වන සමුළුව” සහ “නිවුන් ගැබ් ගැනීම් පිළිබඳ 8 වන ජාත්‍යන්තර සමුළුව” -‘Joint 20th Congress of the International Society of Twin Studies’ (ISTS), and ‘the 8th World Congress on Twin Pregnancy’ ලෙස එය පැවැත්වේ.
විශේෂයෙන් ම මෙවැනි අන්තර්ජාතික විද්‍යාත්මක සමුළුවක් මෙරට පැවැත්වීම මගින්, ශ්‍රී ලාංකේය විද්‍යාත්මක ක්ෂේත්රයේ හැකියාවන් පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගන අතර, විද්‍යාත්මක ක්ෂේත්රයේ අන්තර්ජාතික සම්බන්ධතා ගොඩ නංවා ගැනීමට මෙය සුවිශේෂ අවස්තාවකි. ශ්‍රී ලංකාව විද්‍යාත්මක සමුළු සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කරන සන්ධිස්ථානයක් ලෙස ද සංචාරක කර්මාන්තය ශක්තිමත් කරමින්, දේශීය ආර්ථිකයට සහයෝගය ලබා දීමේ හැකියාව ද මෙමගින් අත්වන වාසිසහගත තත්ත්ව වේ.
මානව විද්‍යාත්මක පර්යේෂණ කරනු ලබන්නේ, මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා ය. තම ප්‍රජාව වෙනුවෙන් කරනු ලබන විද්‍යාත්මක අධ්‍යයන/පර්යේෂණ සඳහා මහජනතාව ගෞරවනීය කොටස්කරුවන් බවට පත්වීම ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණවල නව ප්රවනතාවකි; එය පර්යේෂණයක සාර්ථකත්වය ඉහළ නංවන්නට හේතුවන කරුණකි. ශ්‍රී ලංකාවේ ද එම දියුණු සංස්කෘතිය ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවෙන එක් අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දිය හැකි ය.
‘නිවුන් පර්යේෂණ’ යනු මිනිස් ජීවිතයේ ජානමය සහ පාරිසරික බලපෑම් හඳුනා ගැනීමේ වටිනා මෙවලමක් වන අතර, එමගින් රෝගාබාධ, හැසිරීම් රටා, සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවබෝධය වර්ධනය කළ හැකි බව ද ‘සම නිවුන්’ හා ‘අසම නිවුන්’ යුගල පදනම් කර ගත් මෙම පර්යේෂණ මගින් වෛද්‍ය විද්‍යා, ජාන විද්‍යා, මනෝවිද්‍යා සහ සමාජීය විද්‍යා ක්ෂේත්රවලට වටිනා දායකත්වයක් සැලසෙයි.
ලොව පුරා විවිධ රටවල් 66ක නිවුන් ලේඛනාගාර (Twin Registries) පිහිටුවා ඇති අතර, මේ නිවුන් ලේඛනාගාරවලින් බොහොමයක් විශ්වවිද්‍යාලවලට හෝ පර්යේෂණ ආයතනවලට අනුබද්ධ ව පිහිටුවා ඇත. මේ රටවලින් නිවුන් පර්යේෂකයන්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන් සහ සම්බන්ධ වෘත්තිකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, මෙය ජාත්‍යන්තර පර්යේෂණ සහයෝගිතාව, නව තාක්ෂණික දැනුම, ප්‍රතිකාර ක්‍රම සහ සෞඛ්‍ය ප්රවණතා සම්බන්ධයෙන් දේශීය විද්‍යාඥයින්ට ඉගෙනුම් අවස්ථාවන් උදාකර දෙයි. ශ්‍රී ලංකා නාරි වෛද්‍ය වෘත්තියන්ගේ සංගමය, ශ්‍රී ලංකා ළමා රෝග වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, ආසියානු-ඔසිනියා නාරි වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, ආදී සංවිධානවල සහාය ද මීට ලැබී ඇත.
මෙම සමුළුව සංවිධානය කරනුයේ ‘ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය’ සහ ‘සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ විසින් ය. වසර 25කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතිය පෝෂණය කරමින්, මෙම ආයතන මෙරට විද්‍යාත්මක හැකියාවන් වර්ධනයට ඉතා වැදගත් ලෙස කටයුතු කර ඇත. සමුළුව පිළිබඳ වැඩිදුර තොරතුරු www.twinscongress2025.com හෝ www.ird.lk යන වෙබ් අඩවිවලින් ලබා ගත හැකි ය. වැඩිදුර තොරතුරු 0112863084/0760503434 අංකයෙන් විමසා සිටිය හැකි ය.
IRD මාධ්‍ය ඒකකය
























































