
විශේෂයෙන් ම මෙවැනි අන්තර්ජාතික විද්‍යාත්මක සමුළුවක් මෙරට පැවැත්වීම මගින්, ශ්‍රී ලාංකේය විද්‍යාත්මක ක්ෂේත්‍රයේ හැකියා පිළිබඳ විශ්වාසයක් ඇති කරනවා සේ ම, අන්තර්ජාතික සම්බන්ධතා ගොඩ නංවා ගැනීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකි ය.
ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම, රටේ විද්‍යාත්මක, සෞඛ්‍යමය සහ ආර්ථික වටිනාකම වැඩි කරන උත්කෘෂ්ට අවස්ථාවක් වේ. මෙය ශ්‍රී ලංකාව විශ්වාසවන්ත, හැකියාවලින් සපිරුණු සහ ගෝලීය ප්‍රවණතාවලට හැඩ වූ දේශයක් යන පණිවිඩය ලොවට දෙන්නට ලැබී තිබෙන්නා වූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි ය. මෙවැනි සමුළුවක් සාර්ථක ව සංවිධානය කිරීම, ශ්‍රී ලංකාවේ අනාගත සෞඛ්‍ය හා විද්‍යාත්මක සංවර්ධනයට වටිනා විශිෂ්ට පදනමක් ද වේ.
නිවුන් පර්යේෂණ යනු?
මානව පර්යේෂණ ක්ෂේත්‍රයේ දී නිවුන් පුද්ගලයන්ට හිමි වන්නේ ඉතා වැදගත් වූ ස්ථානයකි. නිවුන් පුද්ගලයන් අතරින් ‘සම නිවුන්’ :සාැබඑසජ්ක* පුද්ගලයන් ජානමය වශයෙන් 100%ක් සමාන වේ. එබැවින් එවැනි නිවුන්නුන්ගේ හැඩරුව ද මානසික මෙන් ම කායික ක්‍රියාවල ද බොහොමයක් සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. එලෙස ම ‘අසම නිවුන්’ ජානමය වශයෙන් සමාන නො වුණත් එක ම පවුලේ සාමාජිකයන් ලෙස හැරෙන්නට හැඩරුවින් හෝ අනෙකුත් ලක්ෂණවලින් සමාන වන්නේ නැත. එමෙන් ම අසම නිවුන් පුද්ගලයන් ඇතැම් විට එක් අයෙක් පිරිමි සහ අනෙකා ගැහැනු ලෙස විරුද්ධ ලිංගිකයෝ ද වෙති. එවිිට ඔවුහූ ස්ථිර වශයෙන් ම අසම නිවුන් වෙති. සමහර විටෙක අහම්බෙන් දෙදෙනා ම ගැහැනු හෝ පිරිමි වීමට ද ඉඩ ඇත. එනිසා එක ම ලිංගිකයන් වූ පමණින් ඔවූහු සම නිවුන්නු නොවෙති. එහෙත් සම නිවුන්නු අනිවාර්යයෙන් ම එක ම ලිංගයට අයත් වෙති. නිවුන් පුද්ගලයන් සතු මෙම අද්විතීය ලක්ෂණ මානව සෞඛ්‍ය පර්යේෂණවල දී ජානමය සහ පාරිසරික බලපෑම අධ්‍යයනය කිරීමට පහසු වේ.
නිවුන් දරුවන් අපට සුන්දරත්වය පමණක් නො ව විද්‍යාත්මක සහ සමාජීය වශයෙන් වටිනාකමක් ද එක් කරයි. වෛද්‍ය විද්‍යාවට සහ නව දැනුම බිහි කිරීමට, උපකාරි වන සුවිශේෂ ගූණාංගවලින් නිවුන් දරුවන් යුක්ත වීම අතිශය වැදගත් ලක්ෂණයකි. එලෙස ම ‘නිවුන් දරුවන් ඇවිදින ස්වාභාවික පර්යේෂණාගාර’ යැයි ද හඳුන්වනු ලබන්නේ නිවුන් අය සම්බන්ධ කර ගෙන විද්‍යාත්මක පර්යේෂණ කිරීමේ ඉහළ හැකියාව නිසා ය. නිවුන් පර්යේෂණවල දී කරන්නේ ‘සම නිවුන්’ හා ‘අසම නිවුන්’ යුගල යොදා ගෙන ඔවුන්ගේ මානව ගති ලක්ෂණ, හැසිරීම් සහ රෝගාබාධ නිර්ණය කිරීම සඳහා පාරිසරික සාධක සහ ජානවල සාපේක්ෂ බලපෑම සොයා බැලීමයි.
මානව ගති ලක්ෂණ සහ ආබාධ පරම්පරා ඔස්සේ සම්ප්‍රේෂණය වන මට්ටම විමර්ශනය කිරීම සඳහා නිවුන් අධ්‍යයනවලින් ඉහළ වටිනාකමක් ලැබේ. නිවුන් පුද්ගලයන් අධ්‍යයනය කිරීමෙන් පර්යේෂකයන්ට යම් පුද්ගලයකුගේ පරිසරය, ජීවන රටාව, ආහාර රටාව මානව රෝග කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ ව වැඩිදුර ඉගෙන ගැනීමට හැකි වේ.
විද්‍යාඥයින්ට, ප්‍රජාවෙහි සෞඛ්‍ය ගැටලු සහ ඊට හේතු වන සාධක අධ්‍යයනය කිරීමට, මේ අනුව නිවුන් අධ්‍යයන මගින් ඉඩ සලසයි. නිවුන් පුද්ගලයන් නොමැතිව, මෙම ආකාරයේ පර්යේෂණ කළ නො හැකි තරම් ය. එවැනි තොරතුරු ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල බොහෝ සෞඛ්‍ය ගැටලු වැළැක්වීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
නිවුන් ලේඛනාගාර
ලොව පුරා විවිධ රටවල, එනම් ඔස්ටේ්‍රලියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, චීනය, ඩෙන්මාර්කය, එංගලන්තය, ෆින්ලන්තය, ජර්මනිය, ගිනියාව, හංගේරියාව, ඊශ්‍රායලය, ඉතාලිය, ඉරානය, ජපානය, දකුණු කොරියාව, නෙදර්ලන්තය, මෙක්සිකෝව, නයිජීරියාව, නෝර්වේ, පෘතුගාලය, සයිබීරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, අමෙරිකාව ඇතුළු රටවල් 66කට වඩා නිවුන් ලේඛනාගාර (Twin Registries) පිහිටුවා ඇත. මේ නිවුන් ලේඛනාගාරවලින් බොහොමයක් විශ්වවිද්‍යාලවලට හෝ පර්යේෂණ ආයතනවලට අනුබද්ධ ව පිහිටුවා ඇත.
විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්
පර්යේෂණ සහ ගෝලීය සහයෝගිතාව ගොඩ නගා ගැනීමේ හැකියාව
මෙවැනි සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම මගින්, ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ට ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාඥයන් සමග සෘජු සම්බන්ධතා ගොඩ නගා ගැනීමට අවස්ථාවක් උදා වේ. එය අනාගතයේ දී ගෝලීය පර්යේෂණ ව්‍යාපෘතිවලට සහභාගි වීමේ හැකියාවලට දායක වේ. ශ්‍රී ලංකාව තුළ පවතින පර්යේෂණ ආධාර වැඩසටහන්, අන්තර්ජාතික ව්‍යාපෘති හා ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමේ හැකියාව ද මෙමගින් උත්ප්‍රේරණය කරනු ලැබේ.
සංචාරක ව්‍යාපාරය ශක්තිමත් වීම සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වීම
මෙවැනි සමුළුවකට ලොව පුරා සිටින විද්‍යාඥයින්, වෛද්‍යවරුන් සහසම්බන්ධ වෘත්තිකයෝ රැසක් පැමිණෙති. එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මහගු අත්වැලක් සපයයි. ඔවුන් ශ්‍රී ලංකාවේ ස්ථාන, සංස්කෘතිය, ආහාර සහ සත්කාරය විඳිමින් යළි එන සංචාරකයන් බවට පත් වීමේ හැකියාව ඇත. මෙය සංචාරක ආදායම ඉහළ දැමීමට සහ ප්‍රදේශීය ආර්ථිකයට ශක්තියක් ගෙන එයි.
ශ්‍රී ලංකාව විද්‍යාත්මක සම්මන්ත්‍රණ සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස පිහිටුවීම
මෙවැනි සමුළුවක් සාර්ථක ව සංවිධානය කිරීමෙන් පසු, ශ්‍රී ලංකාව අනාගතයේ දී තවත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ – සමුළුවලට ආශ්‍රය වන තැනක් විය හැකි ය. මෙය ශ්‍රී ලංකාව ලෝකයෙහි විද්‍යාත්මක සන්නිවේදන ව්‍යාපෘති සඳහා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කර ගත හැකි ය.
සමාජය දැනුම්වත් කිරීම
නිවුන් ගැබ් ගැනීම් පිළිබඳ දැනුම හා අවබෝධය ශ්‍රී ලංකාව තුළ වඩාත් උසස් කිරීමට මෙවැනි සමුළු බලපෑමක් කර ගත හැකි ය. ජනතාව තුළ නිවුන් දරුවන් ඉපදීම පිළිබඳ අදාළ සෞඛ්‍ය දැනුම, අවදානම් තත්ත්ව වැනි නිවැරදි තොරතුරු සමාජගත කිරීමට මෙය අවස්ථාවක් කර ගත හැකි ය.
නිවුන් අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර සංගමය(ISTS)
1974 දී රෝමයේ ආරම්භ කරන ලද සංගමයේ මූලික ඉලක්කය වන්නේ නිවුන් සහ නිවුන් අධ්‍යයන සම්බන්ධ සියලු ක්ෂේත්‍රවල පර්යේෂණ සහ පොදු අධ්‍යයන දියුණු කිරීම යි. මෙමගින් නිවුන් දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන් ම පුළුල් විද්‍යාත්මක ප්‍රජාවට ප්‍රතිලාභ ලැබෙනු ඇත. ජාත්‍යන්තර, දේශපාලන නො වන, ලාභ නො ලබන, බහු විධ විද්‍යාත්මක පර්යේෂණ සඳහා කැප වූ සංවිධානයක් ලෙස ISTS සංගමය පෙන්වා දිය හැකි ය.
ISTS සංගමයේ පළමු සමුළුව පැවැත්වූයේ 1976 දී රෝමයේ දී ය. එතැන් පටන් වාර්ෂික ව හෝ වර්ෂ කිහිපයකට වතාවක් එම සමුළුව ලෝකයේ කොහේ හෝ රටක පැවැත්වෙන්නේ ය. ආසියානු කලාපයේ රටක පළමු වතාවට මෙම නිවුන් අධ්‍යයන සමුළුවක් පැවැත්වී ඇත්තේ 2021 වසරේ චීනයේ දී ය. පසුගිය වසරේ (2024) ඉතාලියේ අසිසි නගරයේ දී පැවැත්වුණු නිවුන් සමුළුවේ දී, සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා විසින් “Ethical aspects in Twin research”. යන මාතෘකාව ඔස්සේ දේශනයක් ද පැවැත්වූවේ ය. එතුමා ‘නිවුන් අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ’ වත්මන් මහලේකම් ලෙස ද කටයුතු කිරීම, ශ්‍රී ලාංකික අපගේ විද්‍යාත්මක හැකියාව ලෝකයට ඔසවා තැබූ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි ය.
‘Twin research and Human Genetics’ පර්යේෂණ සගරාව
ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන පර්යේෂණ ජර්නලයකි. නිවුන් අධ්‍යයනය හා මානව ජාන විද්‍යාව (human genetics) සම්බන්ධයෙන් විශේෂිත ව පළ කරනු ලබන ජාත්‍යන්තර ව පිළිගත් සමියුරු සමාලෝචක(peer reviewed)විද්‍යාත්මක ජර්නලයකි. නිවුන්නු පදනම් කර ගත් මානසික හා භෞතික රෝග පිළිබඳ අධ්‍යයන, ජානමය වසංගත විද්‍යාව (genetics epidemiology)පරිණාමය, ක්‍රියාකාරි ජාන විශ්ලේෂණය වැනි කරුණු පිළිබඳ පර්යේෂණ පත්‍රිකා මෙහි පළ කරනු ලැබේ.
සමුළුවේ ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කරුවන්
නිවුන් අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර සංගමය (ISTS)
නිවුන් ගැබ් ගැනීම පිළිබඳ ලෝක සම්මේලනය (World Congress on Twin Pregnancy)
බහු උපත් සංවිධාන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ICOMBO)
නිවුන් සහ ජාන පර්යේෂණ පිළිබඳ සඟරාව(Journal on Twin and Genetic Research)
සමුළුවේ මෙරට සත්කාරකත්වය : සෞඛ්‍යය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (IRD) සහ ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය (SLTR)
(සමුළුවේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා ලන්ඩනයේ කිංග්ස් කොලේජ් සහ ISTS මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළත් කැප වූ සංවිධායක කමිටුවක් අපට සහාය දක්වයි)
ශ්‍රී ලංකා නාරි වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ළමා රෝග වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය හා ආසියානු-ඔසිනියා නාරි වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ද සහාය ද මීට ලැබී ඇත.
ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය
Sri Lankan Twin Registery -(SLTR)
වෛද්‍ය පර්යේෂණ සඳහා නිවුන් ලේඛනාගාර ගොඩ නැගීම දියුණු බටහිර රටවල සාර්ථක ව සිදු වන අතරේ, අපේ රටේ ද සාර්ථක ව නිවුන් ලේඛනාගාරයක් ගොඩ නැංවීමට හැකි වීම ශ්‍රී ලංකාවට අභිමානයකි. දකුණු ආසියාවේ විශාලතම මෙන් ම මුල් ම නිවුන් ලේඛනාගාරය ස්ථාපිත කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ය. එය 1997 වසරේ සිට මේ දක්වා ‘ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය’ ලෙසින් ‘සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයට’ අනුබද්ධ ව ක්‍රියාත්මක ය.
ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය බිහි වන්නේ වර්ෂ 1997 දී මහාචාර්ය අතුල සුමතිපාලගේ සංකල්පයක් මත ස්වේච්ඡා විද්‍යාර්ථයින් පිරිසකගේ එකතුවෙනි.
පොදු මානසික ආබාධ, පරිවෘත්තීය සින්ඩ්‍රෝමය සහ පෝෂණය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය විසින් විද්‍යාත්මක පර්යේෂණ, පසුගිය වසර 25ක් පුරා අදියර තුනකින් සාර්ථක ව නිමා කර ඇත.
ඇයි ඔබේ දරුවා ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයේ ලියාපදිංචි විය යුත්තේ?
ඔබේ දරුවා නිවුන් ලේඛනාගාරයේ ලියාපදිංචි වූ විට විශාල නිවුන් පවුලක සහ විශාල පර්යේෂණ ප්‍රජාවක කොටසක් බවට පත් වේ. නිවුන් දරුවෙක් ලෙස ඔබට නව දැනුම උත්පාදනය කරන පර්යේෂණ සඳහා අද්විතීය දායකත්වයක් ලබා දිමට හැකි වීම නව විද්‍යාත්මක ලෝකයේ ඔබට සිදු කළ හැකි මහගු කාර්යයකි.
ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයෙහි අලුතින් ලියාපදිංචි වීමට
ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයේ අලුතින් ලියාපදිංචි වීමෙන් ඔබට මෙරට අනෙකුත් නිවුන් සාමාජිකයන් සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමි වේ. එමෙන් ම විද්‍යාත්මක අධ්‍යයනවල කොටස්කරුවන් ලෙස සම්බන්ධ වීමේ ඉඩකඩ ද විවෘත වේ. අඅඅගසරාගකන අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112863084 අංක ඇමතීමෙන් හෝ 0760503434 යන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් තැබීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි ය.
නිවුන් දරුවන් බිහි කරන මවුවරුන් විශේෂ වන්නේ ඇයි?
නිවුන් දරුවන් බිහි කිරීමට සිටින මවකට ඇති විය හැකි සියලු මාතෘ රෝග සාමාන්‍ය දරු ප්‍රසූතියක් බලාපොරොත්තුව සිටින මවකට ඇති විය හැකි ගැටලුවලට වඩා ප්‍රමාණයෙන් වැඩි ය. එසේ ම නිවුන් දරුවන් අන් අයට වඩා කලින් බිහි වීමට ඇති හැකියාව ඉහළ බැවින් ඔවුන් නො මේරූ දරුවන් වීමේ සම්භාවිතාව ද ඉහළ ය. එමගින් ළදරු රෝග ඇති වීමට ද ප්‍රසූතියේ දී මවට ඇති වන ආබාධ වැඩි වීමට ද හේතු විය හැකි ය. කෙටියෙන් ම කිව හොත් නිවුන් උපත් සහ සම්බන්ධ මාතෘ හා ළදරු ගැටලු ඉහළ ය. මේ නිසා නිවුන් සමාජ ස්තරයට අදාළ වෛද්‍ය ගැටලු සඳහා වන සේවාව ද වෙනස් විය හැකි යථ සහ වෙනස් විය යුතු ව තිබේ.
ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයේ දැනට ලියාපදිංචි නිවුන්නු
ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයේ දැනට පහත දත්ත ගබඩා දෙකක් පවතින අතර, තනි පුද්ගලයන් ලෙස සැලකුව හොත් පුද්ගලයන් 33,356 දෙනකු දියාපදිංචි වී ඇත.
1.- 2004 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය පාදක ව කළ සංගනනයකින් ලබා ගත් දත්ත ගබඩාව : මේ දත්ත ගබඩාවේ නිවුන් යුගල 9,570ක් සහ ත්‍රිත්ව නිවුන් පුද්ගලයන් 46ක් (මුළු පුද්ගලයින් සංඛ්‍යාව 19,278) ඇතුළත් ය
2.- ශ්‍රී ලංකාව පුරා පැතිරුණ ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වූ පුද්ගලයන්ගේ දත්ත ගබඩාව : නිවුන් යුගල 7,000ක් සහ ත්‍රිත්ව නිවුන් පුද්ගලයන් 86ක් (මුළු පුද්ගලයින් සංඛ්‍යාව 14,258) මීට ඇතුළත් ය.
නිවුන් ළමයින් එක ම පාසලකට ඇතුළත් විය යුතු ද?
මවකට නිවුන් දරුවන් පිළිසිඳ ගැනීමේ සිට ප්‍රසූතිය දක්වා නිවුන් ළමයින් හැදී වැඩෙන්නේ එකට ය. සුවිශේෂ හේතුවක් හැරෙන්නට, ඔවුන් ඉපදුණු දා පටන් ළමා අවධිය ගත කරන්නේ බොහෝ දුරට එකට ම ය. පාසලකට ඇතුළත් වීමේ දී ත් බොහෝ දුරට එකට ම එක ම පාසලට ඇතුළත් වන ඔවුන් ද්විතීයක අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලැබීමේ දී ද ඉන් එහා ජීවිතය ගත කිරීමේ දී ද ක්‍රමයෙන් විතැන් වීම සමාජයේ දකින්නට ලැබෙන සංසිද්ධියකි.
එකට සිටින නිවුන්නු විතැන් වීම නැත හොත් වෙන් වීම සිදුවිය හැකි ප්‍රධාන අවස්ථා කීපයක් අපේ රටේ අධ්‍යාපන පද්ධතියේ දකින්නට හැකි වුවත්, ඒවායින් විශේෂයෙන් සලකා බැලිය යුතු අවස්ථා දෙකක් ඇත. එනම් ප්‍රාථමික පාසලකට ඇතුළත් කිරීම (පළමු වන ශ්‍රේණියට) හා ද්විතීයක පාසලකට (පස් වන ශ්‍රේණියෙන් හය වන ශ්‍රේණියට) ඇතුළත් කිරීමයි. මෙම අවස්ථා දෙක සුවිශේෂි වන්නේ ළමා මනසට ද දෙමව්පියන්ට ද දැඩි බලපෑමක් කරනු ලබන අවස්ථා දෙකක් හෙයිනි. ද්විතීයක පාසලට ඇතුළත් කිරීමේ දී මෙය තවදුරටත් සංකීර්ණ වී තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීම-අසමත් වීමේ සංසිද්ධිය ද මීට ඈදී ඇති හෙයිනි.
මෙවැනි ගැටලු ඇති වූ අවස්ථා පිළිබඳ ව උදාහරණයක් මෙලෙස ගනිමු. දරුවන් එක ම ප්‍රාථමික පාසලකට ඇතුළත් කිරීම සඳහා නිර්දේශ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයට ලැබී ඇති ලිපි සලකා බලමු. 2000 වසරේ සිට 2014 වසර දක්වා එක ම පාසලේ පළමු වන ශ්‍රේණියට ළමයින් දෙදෙනා ම ඇතුළත් කිරීමට අවශ්‍ය සහයෝගය දෙන්නැයි ඉල්ලීම් 18ක් ලැබී ඇත.
පස් වන ශ්‍රේණියෙන් හය වන ශ්‍රේණියට ඇතුළත් වීමේ දී එක ම පාසලට ඇතුළත් කිරීමට සහාය දෙන ලෙස ඉල්ලීම් 32ක් 2001 වසරේ සිට 2018 වසර දක්වා ලැබී ඇත.
මෙලෙස ලැබෙන ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයට ගත හැකි ක්‍රියාමාර්ගය වනුයේ නිවුන් දරුවන් දෙදෙනකු එකට අධ්‍යාපනය ලැබීමේ ඇති වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම පිළිබඳ ව නිර්දේශ ඉදිරිපත් කිරීම පමණි. එම නිර්දේශ පහත දැක්වෙන විද්‍යාත්මක කරුණු පාදක කොට ගෙන, අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරින් දැනුම්වත් කිරීමට, ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය විසින් කටයුතු කරනු ලැබේ.
■ නිවුන් දරුවන් යනු සමාජයේ සුවිශේෂ අවධානයට ලක් විය යුතු කොටසක් බව
■ ඔවුන් සහ ඔවුන්ගේ භාරකරුවන් මුහුණ දෙන සුවිශේෂ සමාජ-ආර්ථික ගැටලු ඇති බව
■ නිවුන් දරුවන්ගේ වෛද්‍ය විද්‍යාත්මක බැඳීම
■ ඔවුන්ගේ අධ්‍යාපනයට ද පෞරුෂ වර්ධනයට ද ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතීයක අධ්‍යාපනය දක්වා එකට සිටීමේ වැදගත්කම
නිවුන් ලේඛනාගාරය විසින් මෙසේ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුව ද ළමයින් පාසලට ඇතුළත් කිරීමේ වගකීම ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයට සහ අදාළ පාසලට ය. ඔවුනට අදාළ වන නීති -රෙගුලාසි හා චක්‍රලේඛ අනුව ඊට අදාළ කටයුතු කරනු ලැබේ.
ජනප්‍රිය යැයි පවසන පාසල්වලට ඇතුළත් කිරීමේ දී මෙවැනි ගැටලු වැඩි වශයෙන් ඇති වී තිබේ. නිවුන් යුගලයෙන් එක් අයකු එවැනි පාසලකට ඇතුළත් වීමේ සුදුසුකම් ලැබීමත් අනෙක් කෙනා ඊට සුදුසුකම් නොලැබීමත් යන පසුබිමෙහි දෙදෙනා ම පහසුකම් වැඩි පාසලට ඇතුළත් කිරීමට බොහෝ දෙමව්පියන් උත්සාහ දරනු පෙනේ. එවැනි අවස්ථාවල දී කුමන තීරණය ගත යුතු ද යන ගැටලුව අධ්‍යාපන බලධාරින්ට ඉතිරි ව ඇති බව පැහැදිලි ය.
අරුණ ප්‍රශාන්ත වලිසුන්දර