‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මනෝ–සමාජීය ප්‍රතිචාර ශක්තිමත් කිරීමේ ‘Beyond Recovery’ කෑගල්ලේ දී

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු  මනෝ–සමාජීය ප්‍රතිචාර ශක්තිමත් කිරීමේ ‘Beyond Recovery’ කෑගල්ලේ දී : සෞඛ්‍ය හා සමාජයීය සත්කාර පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් (IRD) සක්‍රිය දායකත්වයක්
 
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ මානසික සුවතාවය නංවාලීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ‘Clean Sri Lanka’ වැඩසටහනේ ‘Beyond Recovery’ මෙහෙයුම යටතේ පැවැත්වුණු දිස්ත්‍රික් මට්ටමේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ දෙදින නේවාසික වැඩමුළුව පසුගිය 27 සහ 28 යන දිනවල කෑගල්ල සණස මණ්ඩප (Sanasa Campus) පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.
 
‘ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය’ සහ ‘කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය’ එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය හා සමාජයීය සත්කාර පර්යේෂණ හා සංවර්ධන ආයතනය (Institute for Research and Development) සුවිශේෂී සම්පත් දායකත්වයක් ලබා දෙන ලදී. 
 
වැඩසටහනේ දෙ වන දිනය වූ 28 වන දින මෙහෙයවනු ලැබුවේ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ විශේෂඥ කණ්ඩායම විසිනි. ඒ සඳහා මහාචාර්ය අතුල සුමතිපාල (අධ්‍යක්ෂ), විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර (නියෝජ්‍ය අධ්‍යක්ෂ), ආචාර්ය ඕෂිනි ශ්‍රී ක්‍රිෂානි ජයසිංහ, වෛද්‍ය රිසිත වාකිෂ්ඨආරච්චි, චමාලි ජයසිංහ සහ සමීහා ජබීර් ඇතුළු කණ්ඩායම සක්‍රිය ව සම්බන්ධ වූහ. “නැවත නැගී සිටීමේ සිට පශ්චාත් ආතති වර්ධනය දක්වා; දිට්වාවලින් පසු ඉදිරියට ගමන් කිරීම හා සෞක්‍යය නොවන ක්ෂේත්‍රයේ මනෝ–සමාජීය ප්‍රතිචාර ශක්තිමත් කිරීම” (“From resilience to post traumatic growth; bouncing forward After Ditwah:  Strengthening Psychosocial Responses in Non-Health Sector”) යන තේමාව යටතේ IRD දායකත්වය පෙළ ගැසී තිබුණි.
 
මෙහි දී ආපදාවට පත් පිරිස් වයස් කාණ්ඩ අනුව කොටස් තුනකට වෙන් කර (අවුරුදු 12 දක්වා, 12-18 සහ 18 ට වැඩි), එක් එක් කාණ්ඩයට ගැළපෙන මනෝ-සමාජීය මැදිහත්වීම් පිළිබඳව ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කරන ලදී. සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව මෙහිදී නිලධාරීන් වෙත ලබා දීම විශේෂත්වයකි.
 
ආපදාවකට පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී භෞතික ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා නොවී, පුද්ගල මානසික සුවතාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව මෙම වැඩමුළුවේදී විද්වතුන් විසින් අවධාරණය කරන ලදී.
 
Clean Sri Lanka ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කපිල සෙනරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ චින්තක රාජකරුණා, මානසික වෛද්‍යවරුන්, චිකිත්සකයින් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන, ආපදාවට පත් ජනතාවගේ හෙට දවස සුරක්ෂිත කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
 
IRD මාධ්‍ය ඒකකය