කෙටි කතා සංග්‍රහයක් නිර්මාණය කිරීම

කෙටි කතා සංග්‍රහයක් නිර්මාණය කිරීම

සුරංගිකා නවෝදනී වික්‍රමනායක, ශ්‍රී වික්‍රමශිලා ජාතික පාසල ගිරිඋල්ල

සාරාංශය

නව යොවුන් නිර්මාණකරණයේ සහ ළමා සාහිත්‍යයේ නව ප්‍රවණතා පිළිබඳ ව කෙටිකතා ක්ෂේත්‍රය මූලික කරගෙන අවධානය යොමු කරමින් දත්ත රැස් කර සකස් කරන ලද ශාස්ත්‍රීය ලේඛනයකින් සහ එම න්‍යයාත්මක පදනම මත කළ කෙටි කතා හතරකින් ද යුතු ව්‍යාපෘතියකි. පොතපත පරිශීලනය කිරීමෙන් ශාස්ත්‍රීය ලේඛනය රචනා කර ඇත. ස්වභාවික පරිසරය මෙන් ම ගැමි පරිසරය පිළිබඳ ව ව්‍යවහාර ඥාණය උපයෝහී කරගෙන ස්වකීය අත්දැකීම් ද ඇසුරින් විෂය භාර ගුරුවරුන්ගේ උපදෙස් මත කෙටිකතා නිර්මාණය කර ඇත.

අරමුණු

  1. කෙටි කතාවේ අංග, ප්‍රභවය යන අංශ පිළිබඳ අධ්‍යයනය කිරීම
  2. නිර්මාණාත්මක ක්‍රියාකාරකම අත්හදා බලමින් නිර්මාණ හුරුව ලැබීම
  3. ළමා කෙටි කතා සංග්‍රහයක් නිර්මාණය කිරීම

ක්‍රමවේදය

ළමා විය තේමා කර ගෙන ළමා මනස නිරූපනය වන සේ කෙටි කතා හතරක සංග්‍රහයක් නිර්මාණය කිරීමේ අරමුණු ඉටුකර ගැනීමට පළමු ව පෙතපත ඇසුරු කරගෙන නව යොවුන් සාහිත්‍ය පිළිබඳ ව ගවේෂණය කරන ලදි. පෙතපතින් ලබා ගත් දත්ත ගුරුවරුන් හා සාකච්ඡා කර නිරවුල් කරගෙන රැස් කළ ලේඛිත දත්ත, කෙටි කතාව යනු කුමක් ද? සිංහල කෙටි කතාවේ ප්‍රභවය හා විකාශය, කෙටිකතා විචාරයේ මූලධර්ම, නව යොවුන් වියේ නිර්මාණ, නිර්මාණාත්මක සාහිත්‍ය කෘතියක් බිහි කිරීමට තුඩු දෙන කරුණු, විවේචනය හා විවේචකයා, කෙටි කතා නිර්මාණය යන අනුමාතෘකා ඔස්සේ ගොනු කරන ලදි. අනතුරු ව එම න්‍යායාත්මක දැනුම ද ස්වභාවික හා සමාජ පරිසරය නිරීක්ෂණය තුළින් ලද අත්දැකීම් ද උපයෝගී කර ගෙන කෙටි කතා නිර්මාණය කරන ලදී.

කෙටි කතාව යනු කුමක් ද?

  • කෙටි කතා සාහිත්‍ය 19වන සියවසේ මැද භාගයේ ආරම්භ වූවකි.
  • ඊසොප්ගේ කතාවල ද අරාබි නිසොල්ලාසයේ, පංච තන්ත්‍රයේ කතා අතර මෙන් ම සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ ද ප්‍රමාණයෙන් කෙටි වූ කතන්දර දක්නට ලැබේ.
  • කෙටි කතාව යනු කුමක් ද? යන්න විමසීමේ දී, නැතියෙල් හෝතෝන් නම් ලේඛකයා ගේ ..ඔඅසජැ ඔදකා ඔ්කැි, නම් කෙටි කතා සංග්‍රහයේ කතා කිහිපයක් විග්‍රහ කරමින් ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන්පෝ විසින් ඉදිරිපත් කරනු ලැබූ පහත සඳහන් ප්‍රකාශය වැදගත් වේ.

—දක්ෂ සාහිත්‍යකරුවකු විසින් කතාන්දරයක් :ඔ්කැ- ගොතනු ලැබ ඇත. ඔහු සිද්ධි අන්තර්ගත කිරීමේ අදහසින් සිතුවිලි සකස් කර නැත. ඔහු සිදුකර ඇත්තේ යම් අසහය හෝ කේවල ඵලප්තියක් තහවුරු කිරීම සඳහා අතිශයින් යෝග්‍ය පරිදි සිද්ධි සකසා ගෙන අතිශයින් යෝග්‍ය පරිදි සිද්ධි ගැළපීම ය. කතාවේ ආරම්භක වාක්‍යය ම මේ ඵලාප්තිය සිද්ධ කිරීමට හේතුභූත නොවන්නේ නම් මුල් පියවරේ දී ම ඔහු අසාර්ථක වන්නේ ය. පූර්ව නිශ්චිත සැලැස්මකට අනුව සෘජු ව හෝ වක්‍රාකාර ව හෝ අනුකූල නො වන එක ද වචනයක්වත් මුළු රචනාව තුළ ම නොතිබිය යුතු ය. කතාන්දරයේ අරමුණ නොකැළැල් ලෙසත්, පැහැදිලි ලෙසත් ඉදිරිපත් කර ඇත. මෙම අපේක්ෂාව නවකතාවෙන් නම්, අත් පත් කර ගත නොහැකි වන්නේ ය. කාව්‍යයේ දී මෙන් ම මෙහි දී ද අනවශ්‍ය කෙටි බව සමාන්‍ය ලක්ෂණය නො වන අතර අනවශ්‍ය දීර්ඝත්වය නම් ඊටත් වඩා බැහැර කළ යුතු වේ.

  • ඇන්ටන් චෙකෝෆ්, එඩ්ගා ඇලන්පෝ, ගී ද මෝපසාං වැනි විශ්ව කීර්තියට පත් කෙටි කතාතරුවන්ගේ කෙටි කතා අනුව මෙන් ම, ජී.බී. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ වැනි දේශිය විද්වතුන්ගේ කෙටි කතා අනුව පෙනී යන්නේ කෙටි කතාවක් තුළින් මානුෂික අත්දැකීම් හා ආකල්ප ප්‍රකාශයට පත් විය යුතු බව ය.

සිංහල කෙටි කතාවේ ප්‍රභවය හා විකාශය

  • සිංහල කෙටි කතාවේ ප්‍රභවය පැරණි කතා කලාවේ විකාශයක් යනුවෙන් සහ බටහිර සාහි්‍යයෙන් පිවිසුණ අලූත් අංගයක් යනුවෙන් මත වාද දෙකකි.
  • බොහෝ විචාරකයන්ගේ අදහස් ගත් කල මෙම මතවාද දෙක ම බැහැර කරලීම අසීරු කරුණකි.
  • දියුණු සාහිත්‍ය අංගයක් වශයෙන් පවතින කෙටි කතාව බටහිරින් ගත්තක් වුව ද සිංහල කතා කලාවේ ක්‍රමික විකාශයක් වුව ද බටහිර සාහිත්‍යයේ ආභාෂය ලැබීම හේතුවෙන් හා දේශීය අනන්‍යතාවෙන් යුතු ව ස්වාධීන ව වර්ධනය වී ඇත යන්න පිළිගත යුතු සත්‍යයකි.

කෙටි කතා විචාරයේ මූලධර්ම

  • අත්දැකීම් හා වස්තු විෂය
  • කතා ප්‍රවෘත්තිය හා කතා වින්‍යාසය
  • චරිත නිරූපණය
  • දෘෂ්ටිකෝණය

නිර්මාණාත්මක සාහිත්‍ය කෘතියක් බිහි කිරීමට තුඩු දෙන කරුණු හා ගුණාංග

  • හැම විට ම නව සාහිත්‍ය නිර්මාණය කියවීමට අප තුළ ඇති අශාව
  • එවැනි නව නිර්මාණ කිරීමට අප තුළ ඇති ආශාව
  • නිර්මාණ ශක්තිය සහජයෙන් නොලැඛෙන්නකි.
  • සාහිත්‍යයික නිර්මාණ එක වර බිහි නො වේ.

විවේචන සහ විවේඡකයා

සාහිත්‍ය නිර්මාණයක් වඩා හොඳ තත්ත්වයකට පත් කර ගැනීමට එහි අඩුවැඩිකම් සෙවීම වැදගත් වේ. මේ සඳහා කෙටිකතා විවේචන කලාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

කෙටි කතා නිර්මාණය

  • කෙටි කතාවක් නිර්මාණය කරන්නේ මෙසේ යැ යි විස්තර කිරීම අතිශයින්ම දුෂ්කර ය.
  • කෙටි කතාවක්, කතාවක් ලෙස හෝ කවියක් ලෙස ඉදිරිපත් කළ හැකි ය.
  • ලේඛකයකු තමන් හොඳින් දන්නා පරිසරයක් ගැන ලිවිය යුතු අතර භාෂා ශෛලිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.

නව යොවුන්වියේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පිළිබඳ අදහස්, අත්දැකීම්, විමර්ශන හා අනාවරණ

  • සිංහල කෙටි කතා කරුවන් වැඩි දෙනා ග්‍රාමීය පසුබිමකින් පැන නැගී ස්ථාපිත වූවන් ය.
  • නමසිය හැටේ දශකයෙන් අවසන් වන යුගයේ දිවයිනේ පාසල්වලින් ඇරඹි රට පුරා ව්‍යාප්ත වී ගිය සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වීම.
  • නිර්මාණකරණයේ මහත් කුසලතා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැලකිය යුතු පිරිසක් වත්මනෙහි ද පාසල්වල ඉගෙනුම ලබන අතර ඔවුන්ගේ නිර්මාණ සඳහා නිසි ඇගයිමක් හෝ මග පෙන්වීමක් හෝ නොමැති කමින් නුදුරු අනාගතයේ දී පරිණත කලාකරුවන් අහිමි විය හැකි ය.
  • නිර්මාණකරණයේ දී වැදගත් වන්නේ අත්දැකීම්වලට හා පරිසරයට සමීප වීමට හැකි විවේක බුද්ධියයි.
  • ග්‍රාමීය ගෘහ ජිවීතයේ ජනප්‍රිය අංගයක් වූ කතාන්දර කීමේ කලාවෙන් ලද ආස්වාදය නව යොවුන් ලේඛකයනයට උත්තේජනයක් සැපයිනැයි කිව හැකි ය.
  • විවිධ තැන් හි සංචාරය කිරීමෙන් සොබා දහම හා සමාජ ජීවිතය නිරීක්ෂණය කිරීමට හැකි වීම නිර්මාණයකරණයට ඉවහල් වෙයි.
  • පොත්පත් පරිශීලනය කිරීම ද නිර්මාණකරණයට අත්‍යවශ්‍ය භාවිතයකි.
  • පවතින අධ්‍යාපන ක්‍රමය මෙන් ම කාර්යශ+ර ගුරුවරුන්ගේ මග පෙන්වීම නිර්මාණකරණයට උදව් වෙයි.
  • සමාජ පරිවර්තනය හේතුවෙන් මිනිස් ජීවන රටාව සංකීර්ණය වී ඇති අතර නව යොවුන් නිර්මාණ බිහි වීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් අඩු වී ඇත.
  • නිර්මාණකරණය හුදෙක් සාහිත්‍යයට හා කලාවට පමණක් සීමා වූ භාවිතයක් නො වේ.
  • නව යොවුන් ලේඛකයන්ගේ නිර්මාණ දියුණු කිරීම සඳහා උගතුන්ට, බුද්ධිමතුන්ට, රජයට සහ ජනමාධ්‍යය වලට විශාල වගකීමක් පැවරේ.

2 වන කොටස ඃ —පුංචි බිංදු˜ කෙටි කතා සංග්‍රහය

1 වන කොටසේ දී සාකච්ඡා කළ න්‍යායාත්මක පසුබිම මත හිඳ ගෙන කෙටි කතා හතරක කෙටි කතා සංග්‍රහයක් නිර්මාණය කරන ලදි. එම නිර්මාණ සංග්‍රහයේ පටුන පහත සඳහන් වේ.

  • හැඳින්වීම
  • ටයරය පැදලා
  • උදව් කරන්න ගිහින්
  • බිංදුගේ නිදහස
  • වැස්සක් වැහැල සතුටක් දැනිලා

නිගමන

සැම විට ම තමාට වින්දනය කළ හැකි අත්දැකීම් නිර්මාණවලට වස්තු විෂය කර ගැනීම එහි සාර්ථකත්වයට බලපායි.

සරල සිදුවීම් තේමා කොට ගැනීම නව යොවුන් වියේ ආධුනික කෙටි කතා රචකයින්ට උචිත වේ.

කෙටි කතා සම්ප්‍රදායන් හඳුනා ගැනීමෙන් අනතුරු ව ලේඛකයකුට ස්වකීය විෂයයන් හා ඊට අදාළ සීමා තීරණය කළ හැකි ය. ඒ සඳහා බාහිර පුද්ගලයන් නිතීරිති පැනවීමෙන් නිර්මාණ නිදහස සීමා වේ.

ළමා චරිත උපයෝගි කර ගැනීම තුළින් කලාත්මක නිර්මාණ කළ හැකි ය.

නිර්මාණකරණයේ දී අන්තරාවලෝකනය උපයෝගි කර ගැනීම වැදගත් වේ.

 

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

මෙය නිර්මාණ ගණයේ ව්‍යාපෘතියකි. සිසුවිය කෙටි කතා සංග්‍රහයක් නිර්මාණය කරයි. එය කෙටි කතා හා සම්බන්ධ තොරතුරු ඇතුළත් පරිච්ඡේද කිහිපයකින් ද ස්වයං නිර්මාණ 4කින් ද සමන්විත වේ. නිවැරදි ආකෘතියක් මත පිහිටා ව්‍යාපෘති වාර්තාව සකස් කොට ඇත. ව්‍යාපෘතියේ අරමුණු 7ක් පැහැදිලි ව දක්වා ඇති අතර මුල් අරමුණු 5 වෙත ළඟා වීමට උත්සහ දරා ඇති බව පෙනේ. එම උත්සහය ප්‍රශංසා කටයුතු ය.

ව්‍යාපෘතිය නිර්මාණය සඳහා භාවිත කළ ක්‍රමවේදය පිළිබඳ අදහස් දක්වා ඇතත් එම අදහස්වල විසුරුණු බවක් පවති. කෙසේ වෙතත් යෝග්‍ය ක්‍රමවේදයක් භාවිත කර තිබීම අගය කළ යුතු ය.

ව්‍යාපෘතියේ මාතෘකාව කෙටි කතා සංග්‍රහයක් නිර්මාණය කිරීම වුවත් සිසුවියගේ ස්වයං නිර්මාණවලට පළමු ව කෙටි කතා සම්බන්ධ ව හා ඒ ආශ්‍රිත කොරතුරු ඉදිරිපත් කිරීමට පරිච්ඡේද 07ක් වෙන් කොට තිබීම එහි මුලික අරමුණුවලින් මඳක් බැහැරට යාමකි. ඒවායින් —නිර්මාණාත්මක˜ සාහිත්‍ය කෘතියක් බිහිකිරීමට තුඩු දෙන කරුණු හා ගුණාංග යන පරිච්ඡේදයත් විවේචනය හා විවේචකයා යන පරිච්ඡේදයත් ව්‍යාපෘතියේ අරමුණු හා සෘජු ව බද්ධ නො වන බැවින් ඒවා ඉවත් කළේ නම් වඩාත් සුදුසු ය. එසේ ම කෙටි කතාව යනු කුමක් ද? කෙටි කතාවේ ප්‍රභවය හා විකාශනය යන පරිච්ඡේද එකතු කර එක පරිච්ඡේදයක් වශයෙන් සකස් කළ හැකි ව තිබිණි. කතා සංග්‍රහය අවසානයේ දී සිසුවියගේ නිර්මාණකරණ අත්දැකීම් ආශ්‍රයෙන් නිගමනය වශයෙන් දක්වා ඇති අදහස් ද අගය කළ යුතු ය. මෙතෙක් සාකච්ඡා කළ සුළු අඩුලූහුඩුකම් පැවතිය ද සමස්තයක් වශයෙන් ගත් කල සාර්ථක ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්විය හැකි ය.

කෙටි කතා ගැන

කෙටි කතා නිර්මාණ සංග්‍රහය කතා 4කින් සමන්විත වේ. සිසුවිය කෙටි කතා නමින් තම නිර්මාණ හඳුන්වා තිබුණ ද මෙම කෙටි කතා සමීප වන්නේ ළමා කතාවලට ය. කෙටිකතාවක අන්තර්ගතවන ලක්ෂණවලට වඩා ඉස්මතු වන්නේ ළමා කතා ලක්ෂණ ය. බිංදු නම් ළමා චරිතය වටා කතා හතර ම නිර්මාණය කර ඇත. කෙසේ වුව ද ස්වයං නිර්මාණකරණයේ දී සිසුවිය දක්වන කුසලතාව ප්‍රශංසනීය ය. අවුරුදු 12 – 14 පමණ වයස් කාණ්ඩයේ ළමා පාඨක පිරිස ඉලක්ක කර ගෙන ඇය තම නිර්මාණ ඉදිරිපත් කරයි. ඔවුන් වෙත සිය අත්දැකීම් සම්ප්‍රේෂණය කිරීමට උචිත බස් වහරක් යොදාගෙන ඇති අතර එය ළමා මනසට ගෝචර වන අයුරින් හැසිරවීමේ දස්කම් දක්වයි. ළමා සිත් තුළ කුතුහලය වඩවන අයුරින් කතා විකාශනය කොට තිබීම ද යහපත් ආකල්ප වර්ධනයට රුකුල් දෙන අයුරින් කතා නිර්මාණය කර තිබීම ද අගය කළ යුතු ය. කතා විකාශනයේ දී අදහස්වල විසුරුණු බවක් පෙනුණ ද, —උදව් කරන්න ගිහිං˜ හා —බිංදුගේ නිදහස˜ යන කෙටි කතා වඩාත් රසවත් ය.

ව්‍යාකරණ දෝෂ හා අක්ෂර වින්‍යාසයේ දෝෂ සමස්ත ව්‍යාපෘති වාර්තාව පුරා ම දක්නට ඇත. මේ පිළිබඳ ව ද සැලකිලිමත් වුවා නම් ව්‍යාපෘතිය තවත් සාර්ථක වනු ඇත.

සුසිල් සිරිසේන

සහකාර ව්‍යාපෘති නිලධාරී,

සිංහල අංශය, විෂය මාලා සංවර්ධන මධ්‍යස්ථානය

ජාතික අධ්‍යාපන ආයතනය