2023 මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කෙරෙනවා ද

ඉදිරියේ දී පාසල් විෂයමාලාව ප්‍රතිසංස්කරණය වීමට නියමිත බව පැවසෙනවා?

පාසල් විෂයමාලාව ප්‍රතිසංස්කරණය කරනව නම් එහෙම කරන්න සිදු වෙලා තියෙන්නෙ ඇයි කියන එක තමයි මූලික ම ගැටලූව වෙන්නේ. පවතින විෂයමාලාව නරක හෝ දුර්වල විෂයමාලාවක් නෙවෙයි. යම් යම් අඩුපාඩු සකසා ගන්න, ඒ කියන්නෙ අදාළ විෂයමාලාව ඉගෙන ගෙන පාසලින් පිට වන පිරිස අතර බාහිර කාර්යක්ෂමතාව දුර්වලකම් නැති කරන්න ඕනෙ නිසා තමයි අපි විෂයමාලා ප්‍රතිසංස්කරණය කරන්න තීරණය කළේ. මොක ද පාසල් විෂයමාලාවකින් අපි ගොඩ නගන්නේ අපේ අනාගත ප්‍රාග්ධනය කිව්වොත් නිවැරදියි. ඉස්සර අපි කියන්නේ මානව සම්පත් සංවර්ධනය කියලා. එහෙත් විසි එක්වන සියවසට අනුකූල ව අපි කතා කරන්නෙ ගොඩ නගන මානව ප්‍රාග්ධනය ගැන. මේ කියන මානව ප්‍රාග්ධනය ගොඩ නැංවීමේ දී අවශ්‍ය කරන මූලික ලක්ෂණ කීපයක් අපට හඳුනා ගන්න පුළුවන්.

මුලින් ම පුද්ගලයාගේ යහපත් සෞඛ්‍ය සම්පන්න බව; සෞභාග්‍යයේ දැක්මේ අපි ඒක දකිනව පළවැනි වගන්තිය විධියට ‘health first’ කියලා. මොක ද සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් බිහි වුණේ නැත්නම් මොන තරම් උගත්කමක් තිබ්බත් වැඩක් නැහැ. අලූත් පරම්පරාවේ බොහෝ දෙනෙක් පොත කේන්ද්‍ර කර ගත් – විභාග කේන්ද්‍ර කර ගත් අධ්‍යාපනයක් තමයි ලබන්නේ. ඒ නිසා ක්‍රීඩාවල – විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්න ළමයින්ට වෙලාවක් නැහැ. එතකොට වෙන්නේ නොදැනුම්වත් ව ම ළමයින්ගෙත් සෞඛ්‍ය පිරිහෙන එකයි. උදාහරණයක් විධියට නව ශ්‍රම බලකායෙන් 1/4ක් දියවැඩියා රෝගීන්. මේ විධියට සියලූ කාරණා බලද්දි මේක විශාල ප්‍රශ්නයක්.

ඊළඟට මානව ගුණධර්ම සහිත පිරිසක් බිහි කිරීම මෙන් ම රැකියා වෙළෙඳපොළට ගැළපෙන දැනුමක් සහ රැකියාවක නිරත වීමට අවශ්‍ය රැකියාමය කුශලතාවක් ලබා දීම. ඒ සඳහා අවශ්‍ය පරිගණක තාක්ෂණ දැනුම, ඉංග්‍රීසි සහ වෙනත් භාෂා දැනුම ලබා දෙන්න අවශ්‍යයයි. නැතිනම් අධ්‍යාපන සුදුසුකම් කොයි තරම් තිබුණත් රැකියාවට අවශ්‍ය අනෙකුත් දක්ෂතා නොමැති නිසා ම ඔවුන් ව රැකියාවලට තෝරා ගන්නේ නැහැ. අපි ඒක නිවැරදි කර ගෙන යනවා.

විශේෂයෙන් ම මේ ප්‍රතිසංස්කරණවලට මූලික පරමාර්ථ – කරුණු 6ක් තිඛෙනවා.

  • රටේ සංවර්ධනයට ක්‍රියාකාරි දායකත්වයක් දිය හැකි පුද්ගලයකු බිහි කිරීම (Active contribution to the national development)
  • වැඩට හුරු කුශලතා සහිත වැඩ කිරීමට කැමති පුද්ගලයකු බිහි කිරීම (Effective and efficient work oriented person)
  • ව්‍යවසායමය මනසකින් හෙබි, රැකියා බිහි කළ හැකි පුද්ගලයකු බිහි කිරීම (Person with entrepreneurship mind)
  • රටට ආදරය කරන පුද්ගලයකු බිහි කිරීම (Patriotic person)
  • මානව ගුණධර්ම පිරි පුද්ගලයකු බිහි කිරීම (Good human being)
  • අවබෝධය සතුට එකමුතුව පිරි තෘප්තිමත් පවුලක් ඇති කිරීම (Happy family)

මේ කරුණු එක්ක හදපු විෂයමාලාව කොටස් 4කින් යුක්තයි.

  • ශාස්ත්‍රීය පදනම (Scholarship)
  • ඵලදායි පුරවැසියෙක් (Productive citizen)- මේ සඳහා ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයක් (Activity based education)
  • එක් ව වැඩ කිරීමේ හැකියාව (Team work)
  • චිත්තවේගී සංවර්ධනය (Emotional development)

මේ විෂයමාලාව එක්ක අධ්‍යාපන ක්‍රමය ම වෙනස් වෙනවා. ‘learning centers system’ එකකටයි අපි යන්නෙ. ගුරුවරයා උගන්වනවා නෙමෙයි ළමයයි ඉගෙන ගන්නේ. ඒ සඳහා මොඩියුල් අපි හඳුන්වා දෙනවා. මොඩියුල ක්‍රමයක් කියන්නේ, වසරකට දින 210ක් පාසල් පවත්වනවා. සතියට දින පහයි. සති 42ක් පාසල් පවත්වනවා. වාර තුනට ඛෙදුවහම සති 14 බැගින් එනවා. එක් වාරයක දී ළමයින් කොපමණ පැය ගණනක් අධ්‍යාපනය ලැබිය යුතු ද යන්න ගැන අපි අධ්‍යයනය කළා. එක් මොඩියුලයක් දිනකට පැය බැගින් ළමයෙක් සති 10ක් ඉගෙන ගත්ත නම් ඒක එක් මොඩියුල් එකක් ලෙස නම් කරනවා. ඒකට කියනව එක ක්‍රෙඩිට් පැයක් ලැඛෙනවා කියලා. ඒ විධියට ක්‍රෙඩිට්වලින් තමයි යන්නේ. සති 10ක් කියන්නෙ අවම කාලය.

අපි විෂයමාලාව කොටස් 3කට ඛෙදල තියෙනවා

  • අත්‍යවශ්‍ය ඉගෙනුම (Essential learning)
  • ස්වයං ඉගෙනුම (Self learning)
  • අමතර විෂයමාලාව (Extra curriculum)

මේව හදල තියෙන්නෙ බාහිර කාර්යක්ෂමතාව අනුව වෘත්තීය පැත්තට නැඹුරු වෙන්න.

විෂයයන් ගොඩක් එන නිසා ගුරු ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ ද?

නැහැ. විෂයයන් ගොඩක් වුණාට ඒවා අයත් වෙන්නේ ස්වයං ඉගෙනීමට නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය ම මොහොතට විතරක් ගුරු උපදෙස් ලබා දෙනවා. ඒ ඒ ළමයට කැමති මොඩියුල් තෝරා ගෙන ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒකාකාරි ළමයින් නෙමෙයි විවිධාංගීකරණය වූ ළමයින් තමයි එළියට එන්නේ.

එතකොට නව විෂයමාලා ප්‍රතිසංස්කරණය ආරම්භ කරන්නෙ කොයි කාලෙ ද?

2022 වසරේ පාසල් 200ක අත්හදා බලලා, 2023 ජනවාරි ඉඳලා තමයි සියලූ ම පාසල්වලට අනුයුක්ත කරන්නේ. සිංහල දෙමළ සියලූ ම පාසල් අත්හදා බැලීමට ඇතුළත් වෙනවා. විභාග ක්‍රම වෙනස් වෙනවා. ප්‍රශ්න පත්‍ර සහ performance Test දෙකෙන් ම තමා විභාග පැවැත්වෙන්නේ. මේක සම්පූර්ණ වෙන්න ප්‍රායෝගික පැත්තත් එක්ක අවුරුදු 10ක් වත් යාවි. මොඩියුල් කොටස් 3කින් හදන්නෙ.

  • Introduced module grade 6, 7 ශ්‍රේණිවල ළමයින්ට හඳුන්වා දීමේ මොඩියුල
  • Intermediate module 7, 8 ළමයින්ට අතරමැදි මොඩියුල
  • Advance module 9, 10, 11 ළමයින්ට උසස් තලයේ මොඩියුල

විභාගය මූලික කර ගෙන මොඩියුල  හදනවා. මේ මොඩියුල ලියලා තියෙන්නේ ඒ ඒ විෂය සම්බන්ධ ව විශේෂඥයන් විසින් වීමයි වැදගත්කම.

මේ ප්‍රතිසංස්කරණ දරුවන්ගේ පැත්තෙන් කොයි තරම් දුරට සාධාරණයි ද?

මං හිතන්නේ 100%ක් ම ළමයින්ට සාධාරණයි. දෙමව්පියන්ගේ අදහස් වෙනස් කරන එක තමා අපි හිතන්න ඕනි. ඒ සඳහා ජනමාධ්‍යවලින් ලොකු දෙයක් කරන්න ඕනි. ගුරුවරු පුහුණු කරන්න ලේසියි. මේ ක්‍රමය අනුව විවිධ අංශවලට යන්න පුළුවන් ළමයින්ට.

පූර්ව ළමා විය, ප්‍රාථමික, ද්විතීයක වගේ අධ්‍යාපනයේ විවිධ තල තියෙනවානේ. එතකොට මේ ප්‍රතිසංස්කරණ යොමු වෙන්නේ කොයි කොටස්වලට ද?

ප්‍රධාන වශයෙන් 1-13 වසරවලට. සාමාන්‍ය අධ්‍යාපනයට (General Education) විතරයි. අනික් කොටස් වෙන්නේ වෙනත් අමාත්‍යංශ මගින්.

පාසල් ප්‍රතිසංස්කරණය කියන පුළුල් තේමාවේ කුමන අනු තේමා ද මේ ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වෙන්නේ?

වෘත්තීය සංවර්ධනය. මේ යටතේ NVQ level පාසල් අධ්‍යාපනයට සමගාමී ව ලබා ගන්න පුළුවන්. අධ්‍යාපන පරිපාලනය, විෂයමාලාව, පාසල් සෞඛ්‍ය, ගුරු වෘත්තීය සංවර්ධනය, දුරස්ථ අධ්‍යාපනය වගේ කොටස් ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වෙනවා.

මේ ප්‍රතිසංස්කරණ අනෙකුත් ක්ෂේත්‍ර සමග සබැඳියාව ගොඩ නගා ගන්නෙ කොහොම ද?

අපි අදාළ ආයතන සමග එකතු වෙලා ක්‍රියාමාර්ග අරන් තියෙනවා. විද්‍යාපීඨවලින් අලූතින් ම පිට වන ගුරුවරුන් පුහුණු කරනවා. ඒ වගේ ම විදුහල්පතිවරුත්.

එතකොට පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උසස් අධ්‍යාපනයේ වෙනස්කම් සමග ගළපා ගන්නෙ කොහොම ද?

දැනට හදලා අවසන් 1- 11 වසර වෙනකන්. අපිට 12-13 සමග ප්‍රශ්නයක් තියෙනවා මොකද විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සමග ගළප ගන්න එක. විශ්වවිද්‍යාලය එයාලගෙ ක්‍රම වෙනස් කරන්න ඕන නිසා අපි ඒ ගැන කටයුතු කරමින් ඉන්නෙ. ඒ විශ්වවිද්‍යාලීය සිස්ටම් එක හදන්න ඕනි. ඒක එයාලගෙ වගකීමක්.

කලින් ප්‍රතිසංස්කරණවල දී මූලික පදනම් පත්‍රිකා නිකුත් වුණා. මෙවරත් එවැනි ලේඛනයක් ලබා දෙනවා ද?

ඔව්, අපි වැඩටසටහන් පුවත්පත් දැන්වීම්වලින් දැනුම්වත් කරනවා. චක්‍රලේඛ ජනවාරිවල නිකුත් කරනවා.

ශ්‍රී ලංකාවේ තියෙන අනිකුත් විවිධ අධ්‍යාපන ආයතන බලාත්මක වෙන්නෙ කොහොම ද?

ජාතික අධ්‍යාපනය ආයතනයයි, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවයි මගේ යටතේ තියෙන්නෙ. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපනය අමාත්‍යංශය, ඔක්කොම එකට වැඩ කරන්නේ.

අනෙකුත් රටවල අත්දැකීම් මේ ප්‍රතිසංස්කරණ සඳහා දායක කර ගෙන තිඛෙනවා ද?

ඔව්, තියෙනවා. දියුණු රටවල දැනුම අත්දැකීම් ලබාගෙන තියෙනවා. ඒ වගේ ම දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය සමග එකතු වෙලා කරන්නේ.

අවසාන වශයෙන් රටේ සමස්ත සංවර්ධනයට මේ ප්‍රතිසංස්කරණ දායක වෙන්නෙ කොහොම ද?

අපි විශ්වාස කරනව අපි බිහි කරන්න යන මානව ප්‍රාග්ධනය දැන් ඉන්න මට්ටමට වඩා මානසික ආකල්ප වෙනස් වුණ, සංවර්ධනය වුණු, ප්‍රායෝගික හැකියාවලින් පිරිපුන් පරපුරක් දායක කරන්න පුළුවන් වෙයි කියල.

සාකච්ඡා සටහන  ප්‍රමෝත් විජේවන්ත