නිදහස් අධ්‍යාපනය සමඟ බැදුණු සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර නාමය

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර 1931 – 1947 යටත් විජිත පාලන යුගයේ අවසාන දශකයේ රාජ්‍ය මන්ත්‍රණ සභා දෙකෙහි අධ්‍යාපන ඇමතිවරයා විය. එම වකවානුව, එතෙක් ශත වර්ෂයකට වැඩි කාලයක් පැවති යටත් විජිත අධ්‍යාපන ප්‍රතිපත්තිවල හැරවුම් ලක්ෂයක් විය. මීට සමාන්තර ව 1931 දී සර්වජන ඡන්ද බලය හිමිවීම ද සටහන් කිරීම වැදගත් ය. 1939 දී ඉදිරිපත් කළ අධ්‍යාපන පනත ද තවත් හැරවුම් ලක්ෂයක් විය. මෙම පනතේ ප්‍රතිලාභ ලැබීමට තවත් දශකයක් ගත වුව ද අධ්‍යාපන පරිපාලනය තුළ පැවති යටත් විජිත බල ව්‍යුහය වෙනස් වීම එහි දී සිදුවිය.

1930 දශකයේ පාසල් යා යුතු වයසේ පිරිමි දරුවන් 50ක් හා ගැහැනු දරුවන් 75%ක් පාසල් අධ්‍යාපනයෙන් බැහැර ව සිටියහ. එහෙත් 1963 වන විට අවු 5-14ත් අතර පිරිමි ළමුන් 76.7%ක් ද ගැහැනු ළමයින් 72.6%ක් ද අධ්‍යාපනය ලබමින් සිටියහ. එලෙස ම 1959 – 64 අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංඛ්‍යාව 3න් ගුණයකින් වැඩි විය. 1950 දී විශ්වවිද්‍යාලවලට වැඩියෙන් පැමිණියේ නාගරික ප්‍රදේශවලිනි. ඉන් 81%ක් ම ඉංග්‍රීසි උගත් වෘත්තීයමය පසුබිමක් ඇති පවුල්වලිනි. එහෙත් එය 1967 දී එය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූවන්ගෙන් 73%ක් ම ගම් කාර්ය සභා ප්‍රදේශ හා සුළු නගර සහ ප්‍රදේශවලින් පැමිණියවුන් වූ අතර, ඉන් මධ්‍යම පන්තියට අයත් වූයේ 34%ක් පමණි.

එතෙක් නාගරික ඉංග්‍රීසි පාසල්වලට සීමා වී තිබූ ද්විතීයක අධ්‍යාපන පහසුකම් වඩා සාධාරණ ලෙස ඛෙදී යාමට මග පෑදීම 1940-47 වකවානුවේ දී සිදු වූයේ දිවයින පුරා ගම්බද ප්‍රදේශවල මධ්‍ය මහා විද්‍යාල 54ක් පිහිටුවීමෙනි. ගම්බද ප්‍රාථමික පාසල්වල දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමිලයේ ආහාර හා නේවාසික පහසුකම් පිරිනමමින් ඇති කෙරුණු ශිෂ්‍යත්ව ක්‍රමය නිසා මධ්‍ය මහා විද්‍යාල මගින් පශ්චාත් ප්‍රාථමික උසස් අධ්‍යාපන අවස්ථා වැඩි විය.

ප්‍රාථමික, ද්විතීයක, විශ්වවිද්‍යාල හා සෙසු තෘතීයක අධ්‍යාපන අවස්ථා යන යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් එතුමා පැවසූයේ “මිල අධික දෙයක් ව පැවති අධ්‍යාපනය අපි ලාභ කළෙමු; එසේ ම ධනවතුන්ගේ ප්‍රවේණියක් ව පැවති එය නිර්ධනයින්ගේ උරුමයක් බවට පත් කළෙමු” යන්න ය.

එහෙත් දේශපාලන නිදහස ලැබීමෙන් පසුව කන්නන්ගර මැතිතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නියමුවා නොවී ය. 1959 වන විට ද්විතීයක අධ්‍යාපනය සඳහා ජාතික භාෂා දෙකකට යොදා ගැනිණි. 1960 – 1961 වසරවල ආගමික නිකායික අධ්‍යාපන ක්‍රමය අහෝසි විය. 1945 දී 4537ක් ව පැවති පාසල් ගණන 1963 වන විට 8937ක් දක්වා වැඩි විය. 1953 දී 45,470ක් වූ ගුරුවරුන් ගණන 1963 දී 81,206ක් දක්වා වැඩි වී තිබුණි.

1960 වන විට අධ්‍යාපනය සඳහා වූ මූල්‍ය ප්‍රතිශතය අනුව දළ ජාතික ආදායමෙන් 4.6%ක් එනම්  ජාතික අයවැයෙන් වෙන් කළ මුදලින්  10%ක් විය. එහෙත් 60 දශකය 4.6% වූ අධ්‍යාපනය සඳහා වැය කළ දළ ජාතික ආදායමේ ප්‍රතිශතය 1980 දශකයේ දී 2% ට අඩු ය. එය ජාතික අයවැයෙන් වෙන් කළ මුදල 10% සිට 6 – 8%දක්වා අඩු වීමකි. එසේ 1960 සිට යම් යම් නිශේධනීය ප්‍රවේශයකට අධ්‍යාපනය තල්ලූ වූ බව ඉතිහාසය ඉඟි කර තිබේ.