කහ යනු කුළුබඩුවක් පමණක් ද?

‘කහ’ යනු කුළුබඩුවක් පමණක් ම ද?
සහනි උල්පත්කුඹුර
ජාතික මූලික අධ්‍යයන ආයතනය, හන්තාන, මහනුවර
 
    මෑත කාලීන ව ‘කහ’ ගැන අපේ සමාජයේ වඩාත් කතාබහට ලක් වී ඇත්තේ ආනයනය තහනම් කිරීමත් සමඟ පැමිණි හිඟකම නිසා ය. කහවල ඖෂධීය ගුණාංග සහ ජෛව විවිධාත්මක ගුණාංග රැසක් පවතී. කහ, කැබලි හා කුඩු ස්වරූපයෙන් වෙළඳපොළෙහි පවතී. වර්තමානයේ එය මුළුතැන්ගෙයි කුළුබඩුවක් වශයෙන් යොදා ගනු ලැබේ. මීට අමතර ව කහවලින් නිස්සාරණය කරනු ලබන තෙල් සහ ඔලියෝරෙසින් නමැති රසායනික ද්‍රව්‍ය, ආහාර කර්මාන්තයේ වර්ණක හා රසකාරක වශයෙන් භාවිත කෙරේ.
 
    ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ, මූලික වශයෙන් කහ, ඖෂධ නිෂ්පාදනයෙහි ලා යොදා ගනු ලැබේ. මීට අමතර ව එදිනෙදා ජීවිතයේ විෂබීජ නාශකයක් ලෙස ප්‍රබල ව භාවිත කරනු ලැබේ. කහවල මූලික ව පවතින රසායනික සංයෝගය වන්නේ ක’කියුමින් ය. එහි අන්තර්ගතය 4%ත්  7%ත්  අතර ප්‍රමාණයකි. දේශගුණික හා පාරිසරික තත්ත්ව මත ක’කියුමින් අගය අඩු වැඩි වේ.
 
    කහ සතු බොහෝමයක් ඖෂධීය ගුණාංග හා ජෛව විද්‍යාත්මක ගුණාංග රඳා පවතින්නේ මෙම ක’කියුමින් අන්තර්ගතය මතයි. ක’කියුමින්, මූලික ව ප්‍රතිඔක්සිකාරකයක් ලෙස කටයුතු කරනු ලැබේ. එමඟින් දේහය තුළ පවතින අහිතකර ඔක්සිකාරක ප්‍රතික්‍රියා මැඩලීමට හා පිළිකා වැනි රෝගී තත්ත්ව මැඩලීමට හැකියාව පවතියි. එලෙස ම ක’කියුමින් සතු ව අහිතකර බැක්ටීරියා, දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීනුත් වෛරස් වැනි කාණ්ඩත් විනාශ කිරීමේ හැකියාව පවතියි. මීට අමතර ව ක’කියුමින් සහ ඇල්ෆටමියුරෝන් වැනි සංයෝග මගින් දියවැඩියාව පාලනය කිරීමේ හැකියාව පවතින බවට හඳුනා ගෙන තිබේ. තව ද රුධිර කොලොස්ටරෝල් මට්ටමත්, ට්‍රයිග්ලිසරයිඩ මට්ටමත් අවම කිරීමේ හැකියාවක් කහ සතු ව පවතින බවට විශ්වාස කෙරෙයි.
 
    ශ්‍රී ලංකාවේ වාර්ෂික කහ පරිභෝජනය දළ වශයෙන් මෙට්ට්‍රික් ටොන් 7000ත් 7500ත් අතර වේ. මින් ලංකාවේ නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්ට්‍රික් ටොන් 2000ක් පමණි. ඉතිරිය ආනයනය කරනු ලැබේ. කෙසේ වෙතත් ආනයනික කහවලට වඩා ශ්‍රී ලංකාවේ වගා කරන කහවල ගුණාත්මක භාවය ඉහළ බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ඒ ලංකාවේ කහවල ක’කියුමින් අගය ඉහළ අගයක් ගන්නා බැවිනි. මනා ලෙස ජලය සහිත, කාබනික ද්‍රව්‍ය සහිත වැලිලෝම පසෙහි කහ පහසුවෙන් වගා කිරීමේ හැකියාව පවතියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ උචිත දේශගුණික සහ පාරිසරික තත්ත්ව සහිත පරිසරවල, කහ වගා කිරීමේ හැකියාව පවතින බව වගාකරුවන්ගේ සහ කෘෂි විද්‍යාඥයන්ගේ අදහසයි.
 
    ඒ අනුව ශ්‍රී ලංකාවේ උචිත ප්‍රදේශ තෝරා ගෙන කහ වගාව දේශීය ව ඉහළ නැංවීම මගින් දේශීය පරිභෝජනයට අවශ්‍ය වන, ගුණාත්මක බවින් ඉහළ කහ, වැඩි වශයෙන් වගා කිරීමේ හැකියාවක් පවතින බව අපි අවබෝධ කර ගත යුතු වෙමු.
 
(යූ ටියුබ් ඇසුරිණි)