මිශ්‍ර පර්යේෂණයෙන් කළ පර්යේෂණයකට උදාහරණයක්- “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපාය මාර්ග භාවිතයේ සුවිශේෂතා”

පර්යේෂණ ලෝකයට පිවිසෙමු

මිශ්‍ර පර්යේෂයෙන් කළ පර්යේෂණයකට උදාහරණයක් “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපායමාර්ග භාවිතයේ සුවිශේෂතා”

නව දැනුම උත්පාදනයෙහි ලා පවතින පර්යේෂණ ප්‍රවේශ දෙකට අමතර ව, බහුවිධ ප්‍රවේශයක් ඔස්සේ නව දැනුම ගවේෂණය සඳහා දාර්ශණික හා ක්‍රමවේදී ප්‍රවේශයක අවශ්‍යතාව, 1950 දශකය වන විට ලෝකයේ සාකච්ඡාවට බඳුන් විය. මේ අනුව, සාම්ප්‍රදායික ප්‍රවේශ එක් කර ගත් නව පර්යේෂණ සුසමාදර්ශයක් ලෙස, මිශ්‍ර ක්‍රමය (Mix Method) 1959 වර්ෂයේ දී Campbell & Fiske විසින් හඳුන්වා දෙන ලදී. 1950 දශකයෙන් පසු සීග්‍රයෙන් ව්‍යාප්ත වූ මිශ්‍ර ක්‍රමයේ පර්යේෂණ, වර්තමානය වන විට ලෝකයේ ජනප්‍රිය පර්යේෂණ ප්‍රවේශයක් ලෙස ක්‍රියාත්මක ව පවතී. එමෙන් ම මිශ්‍ර ක්‍රම ප්‍රවේශයෙන් කළ පර්යේෂණ පමණක් පළ කරනු ලබන පර්යේෂණ සඟරා ද විවිධ රටවල  පවතී.

ශ්‍රී ලාංකේය පර්යේෂකයන්ට මිශ්‍ර ක්‍රමයේ පර්යේෂණ නවමු අත්දැකීමකි. ශ්‍රී ලාංකේය පර්යේෂණ ක්ෂේත්‍රයේ මිශ්‍ර ක්‍රමයේ පර්යේෂණ දක්නට ලැඛෙන්නේ ද සීමිත ප්‍රමාණයකි. මෙම ලිපියේ අරමුණ මිශ්‍ර ක්‍රමවේදය භාවිත කර, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන දර්ශනපති උපාධිය සඳහා කරන ලද “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපායමාර්ග භාවිතයේ සුවිශේෂතා” යන පර්යේෂණය පිළිබඳ ව හා එහි ප්‍රායෝගික ක්‍රමවේදීය භාවිතය පිළිබඳ ව හඳුන්වා දීමයි.

මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mix Methodology)

මිශ්‍ර ක්‍රමවේදයේ පර්යේෂණ, ස්වාධීන සුසමාදර්ශයක් (Paradigm) ඔස්සේ ක්‍රියාවට නංවනු ලබයි. මිශ්‍ර ක්‍රමවේදය, වාස්තවික නැතහොත් ප්‍රත්‍යක්ෂමූලවාදී ප්‍රවේශය (objectivistic) මෙන් ම විෂයමූල (Subjectivist) ප්‍රවේශයේ ලක්ෂණවලින් ද සමන්විත වේ. එබැවින් මිශ්‍ර ක්‍රමවේදය යටතේ පර්යේෂණයක් සැලසුම් කිරීමේ දී, පර්යේෂකයාට, මේ ප්‍රවේශ දෙක පිළිබඳ ව ම ගැඹුරු අවබෝධයක් හා ප්‍රායෝගික භාවිතයක් තිබීම අත්‍යවශ්‍ය වේ. පර්යේෂණ ගැටලූව පිළිබඳ ව මූලික චින්තනය පහළ වීමේ අවස්ථාවේ සිට, පර්යේෂණය සමාප්ත කරන තුරු, පර්යේෂකයකු විසින් අනුගමනය කරනු ලබන පියවර, මිශ්‍ර පර්යේෂණ සුසමාදර්ශයට අදාළ වන පරිදි භාවිතයට ගනු ලබන ආකාරය මතු දැක්වෙන පියවර ඔස්සේ පැහැදිලි කළ හැකියි.

  1. පර්යේෂණ ගැටලූව තෝරා ගැනීම
  2. පර්යේෂණ සුසමාදර්ශය (Research Paradigm) පැහැදිලි කිරීම
  3. පර්යේෂණ මාතෘකාව සංවර්ධනය
  4. පර්යේෂණ අරමුණු ගොඩ නගා ගැනීම
  5. පර්යේෂණ පිරිසැලසුම සංවර්ධනය
  6. පර්යේෂණ පිරිසැලසුම තාර්කීකරණය
  7. නියැදිය තෝරා ගැනීම
  8. දත්ත එක් රැස් කිරීම
  9. දත්ත පිළිබඳ සංතෘප්තභාවය ඇගයීම
  10. දත්ත විශ්ලේෂණය
  11. පර්යේෂණයේ  ප්‍රතිඵල අර්ථකථනය
  12. සමාප්තික විග්‍රහය

 

  1. පර්යේෂණ ගැටලූව තෝරා ගැනීම

මිශ්‍ර ක්‍රමය යටතේ පර්යේෂණයක් කිරීමට ගැටලූවක් තෝරා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. අධ්‍යයනයට භාජනය කිරීමට අපේක්ෂිත ගැටලූව, ප්‍රමාණාත්මක ප්‍රවේශය හෝ ගුණාත්මක ප්‍රවේශය මගින් පමණක් අධ්‍යයනය කළ නොහැක්කේ මන්ද? එම ප්‍රවේශවලින් ගැටලූව අධ්‍යයනය කිරීමේ දී පුඵල් දෘෂ්ටියක් ලබා ගැනීමට නොහැකි වේ ද? යනු පිළිබඳ ව පර්යේෂකයාගේ අවධානය යොමු විය යුතු ය. පර්යේෂණ ප්‍රවේශ දෙක වෙන් වෙන් ව, ස්වාධීන ව ගත් කල, ගැටලූවට සාධාරණයක් නොවේ යයි පර්යේෂකයා සෑහීමකට පත් වේ නම් පමණක්, මිශ්‍ර ප්‍රවේශය තෝරා ගත යුතු ය.

එමෙන් ම දැනට පවතින න්‍යායාත්මක රාමුවකින් හෝ දැනුම් පද්ධතිය භාවිතයෙන් පමණක් ගැටලූවට විසඳුම් ලබා ගත නොහැකි විය යුතු අතර, ක්ෂේත්‍රයේ පවතින ගුණාත්මක දත්ත ආශ්‍රයෙන් ද ගැටලූව සඳහා යම් ආලෝකයක් ලැබිය යුතු යයි හඳුනා ගත යුතු ව තිබේ.

අනෙක් අතට, ක්ෂේත්‍රගත ගුණාත්මක දත්තවලින් පමණක් ගැටලූවට විසඳුම් ලබා ගත නොහැකි විය යුතු අතර, පවතින න්‍යායාත්මක රාමුව හෝ දැනුම් පද්ධතිය ආශ්‍රයෙන් යම් ආලෝකයක් ගැටලූවට ලැබිය යුතු නම් මිශ්‍ර ප්‍රවේශය භාවිත කළ හැකි ය.

මේ අනුව පැහැදිලි වන්නේ මිශ්‍ර ක්‍රමය යටතේ පර්යේෂණයකට ගැටලූවක් තෝරා ගැනීමේ දී, එහි න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික බව ද සලකා ගැටලූව තෝරා ගත යුතු බවයි. උදාහරණයක් ලෙස “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපායමාර්ග භාවිතයේ සුවිශේෂතා” පිළිබඳ අධ්‍යයනයේ දී, කළමනාකරණ උපායමාර්ග භාවිතය පිළිබඳ ව පවතින න්‍යායාත්මක කරුණු හා දැනුම් පද්ධතිය ආශ්‍රයෙන් කරුණු අනාවරණය කර ගත හැකියි. එහෙත් කළමනාකරණ උපායමාර්ග, බිම් මට්ටමේ භාවිතයේ දක්නට ලැඛෙන සුවිශේෂ ලක්ෂණ, න්‍යායාත්මක රාමුව ඔස්සේ සිදුකරනු ලබන ප්‍රමාණාත්මක  ප්‍රවේශයේ අධ්‍යයනයකින් පමණක් හඳුනා ගත නොහැකි ය. එම සුවිශේෂ භාවිතයේ ආකාර පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතු වූ නිසා, ඒ සඳහා ගුණාත්මක ප්‍රවේශයේ දත්ත අත්‍යවශ්‍ය ම විය. එබැවින් අධ්‍යයනය සඳහා කුඩා පාසල් විදුහල්පතිවරුන් භාවිත කරනු ලබන කළමනාකරණ උපායමාර්ග, එහි රටා, ඒවායේ ප්‍රමාණාත්මක සංඛ්‍යාත මෙන් ම එම උපායමාර්ග භාවිත කරන පසුබිම හා සංදර්භය පිළිබඳ ප්‍රායෝගික තලයේ තොරතුරු ද අවශ්‍ය වන බැවින් අධ්‍යයනය සඳහා යෝග්‍ය ප්‍රවේශය ලෙස මිශ්‍ර පර්යේෂණ ප්‍රවේශය තෝරා ගනු ලැබීය.

  1. පර්යේෂණ සුසමාදර්ශය පැහැදිලි කිරීම

විද්‍යාත්මක පර්යේෂණයක් ආරම්භයේ දී ම එම පර්යේෂණය මෙහෙයවනු ලබන පුඵල් වූ සුසමාදර්ශය පිළිබඳ ව පර්යේෂකයාට ගැඹුරු අවබෝධයක් තිබිය යුතු ය. පර්යේෂණ ගැටලුව වඩාත් සියුම් ව හා පුඵල් ව විමසීම සඳහා අවශ්‍ය දාර්ශණික උපායමාර්ග ගොඩ නැගීම සඳහා සුසමාදර්ශය පිළිබඳ දැනුම වැදගත් වේ. එක ම අධ්‍යයනයක් තුළ ගුණාත්මක හා ප්‍රමාණාත්මක දත්ත සුසංයෝගී ව සිදුකරනු ලබන මිශ්‍ර ක්‍රමයේ පර්යේෂණවල සුසමාදර්ශය ගොඩ නගන දාර්ශනික සංකල්ප පිළිබඳ ව ජෝන් ඩබ්. ක්‍රෙස්වෙල් (John W. Creswell) මෙසේ පැහැදිලි කරයි.

සම්මිශ්‍රිත පර්යේෂණ ක්‍රමවේදය යනු දාර්ශනික උපකල්පන සහිත විමර්ශණශීලී පර්යේෂණ පිරිසැලසුමකි. එය ක්‍රමවේදයක් වශයෙන් පර්යේෂණ ක්‍රියාවලියේ දත්ත  එක්රැස්  කිරීමේ සිට විශ්ලේෂණය  කිරීමේ  අවස්ථාව දක්වා දාර්ශනික උපකල්පන මගින් මෙහෙයවනු ලබන හා ගුණාත්මක මෙන් ම ප්‍රමාණාත්මක එළඹුම් එකිනෙක සම්මිශ්‍රණය කරනු ලබන පර්යේෂණ ක්‍රමවේදයකි. එමෙන් ම එය පර්යේෂණ ක්‍රමයක් ලෙස ගත් කල, එක අධ්‍යයනයක දී හෝ අධ්‍යයන අවස්ථා කිහිපයක දී දත්ත එක්රැස් කිරීම හා දත්ත විශ්ලේෂණය කිරීමේ දී, ගුණාත්මක හා ප්‍රමාණාත්මක දත්ත මනා ලෙස සම්මිශ්‍රණය කළ හැකි ක්‍රමයක් ද වන්නේ ය. මෙම ක්‍රමයේ ප්‍රධාන හරය වන්නේ  යම් පර්යේෂණ ගැටලූවක් පිළිබඳ ව මූලික අවධානය ප්‍රමාණාත්මක හා ගුණාත්මක යන එළඹුම් දෙක ම ඔස්සේ ඵකවර යොමු කළ හැකි වීමයි. එමගින් පර්යේෂණ ගැටලූව  පිළිබඳ ව ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක එක් එළඹුමක් ඔස්සේ පමණක් ලබන අවබෝධයට වඩා ගැඹුරු අවබෝධයක් මෙම එළඹුම ඔස්සේ ලබාගත හැකි ය (Creswell, 2003, p. 50).   

යම් සංසිද්ධියක් පිළිබඳ ව පුඵල් හා ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා යෝග්‍ය වූ සුසමාදර්ශයක් ලෙස මිශ්‍ර ක්‍රමය හැඳින්විය හැකි ය (Layder, 1993, p. 174).

ඒ අනුව, “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපායමාර්ග භාවිතයේ සුවිශේෂතා” පර්යේෂණය සඳහා වඩාත් නිවැරදි වූත්, පැහැදිලි වූත් විග්‍රහයක් ඉදිරිපත් කළ හැකි ප්‍රවේශයක් ලෙස මිශ්‍ර ක්‍රමය භාවිතයට ගනු ලැබීය.

  1. පර්යේෂණ මාතෘකාව සංවර්ධනය

මිශ්‍ර ක්‍රමය භාවිත කරනු ලබන පර්යේෂණයක, පර්යේෂණ මාතෘකාව ද සුවිශේෂී විය යුතුයි. මාතෘකාව මගින් ප්‍රමාණාත්මක පාර්ශ්වය මෙන් ම ගුණාත්මක පාර්ශ්වය ද නියෝජනය වන පරිදි පොදු දැක්මක් ගොඩ නැගී තිබිය යුතුයි. ඒ මගින් සුවිශේෂී වූ ප්‍රවේශ ගොඩ නැගෙන බව විද්‍යාර්ථීන්ට අවබෝධ විය යුතු ය. උදාහරණයක් ලෙස “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපායමාර්ග භාවිතයේ සුවිශේෂතා” යන මාතෘකාවේ “කළමනාකරණ උපායමාර්ග” යන්න ප්‍රමාණාත්මක පාර්ශ්වය නියෝජනය කරනු ලබන අතර, “භාවිතයේ සුවිශේෂතා” යන්න ගුණාත්මක පාර්ශ්වය නියෝජනය කරයි. එම පාර්ශව දෙකෙහි ම නියෝජනය, පුඵල් ව මාතෘකාවෙන් ගම්‍ය වේ.

  1. පර්යේෂණ අරමුණු ගොඩ නගා ගැනීම

මිශ්‍ර ක්‍රමවේදයේ පර්යේෂණවල දී පර්යේෂණ අරමුණු ගොඩ නැගීම පිළිබඳ ව පර්යේෂකයාගේ විශේෂ අවධානය යොමු විය යුතුයි. මන්ද යත්, ප්‍රමාණාත්මක ක්‍රමවේදය භාවිත කරනු ලබන පර්යේෂණයක පර්යේෂණ අරමුණු ගොඩ නැංවිය යුත්තේ නිගාමී තර්කනය (Deductive thinking) මුල් කර ගෙන ආනුභවික ව පරීක්ෂා කළ හැකි න්‍යායාත්මක පදනමක් මතයි. එමෙන් ම ගුණාත්මක පර්යේෂණයක පර්යේෂණ අරමුණු ගොඩ නැංවිය යුතු වන්නේ උද්ගාමී තර්කනය (Inductive thinking) පදනම් කර ගත් විෂය මූලික (Subjective) කරුණු නැතහොත් ක්ෂේත්‍රයේ දැනට පවතින දත්ත ආශ්‍රයෙනි. මිශ්‍ර ක්‍රමය අනුව පර්යේෂණයක් සැලසුම් කරන්නෙකු තම පර්යේෂණයේ පර්යේෂණ අරමුණු සැලසුම් කළ යුත්තේ, පෙර සඳහන් කරන ලද ප්‍රමාණාත්මක හා ගුණාත්මක පාර්ශව දෙක ම නියෝජනය වන පරිදි ය. එනම් එම පර්යේෂණයේ අරමුණුවල ප්‍රමාණාත්මක පාර්ශවයේ අරමුණු මෙන් ම ගුණාත්මක පාර්ශවයේ අරමුණු ද තිබිය යුතු වේ. එමෙන් ම එම පර්යේෂණ අරමුණු සඳහා අදාළ වන පරිදි දත්ත එක්රැස් කිරීමේ දී ඉතා පැහැදිලි ව ම, ප්‍රමාණාත්මක දත්ත (සංඛ්‍යාමය දත්ත) හා ගුණාත්මක දත්ත (වචන, ශබ්ද හෝ ඡායා සටහන්) අදාළ සංසිද්ධි විග්‍රහ කිරීමේ අරමුණින් යුක්ත ව භාවිතයට ගෙන තිබීම අත්‍යවශ්‍ය වේ. කුඩා පාසල්වල විදුහල්පතිවරුන් පිළිබඳ පර්යේෂණය සඳහා පර්යේෂණ අරමුණු තෝරා ගැනීමේ දී, පෙර දක්වන ලද පදනම මත පිහිටා, පර්යේෂණ අරමුණු ගොනු කර ඇති ආකාරය සංක්ෂිප්ත ව මතු දැක්වේ.

  • කුඩා පාසල් කළමනාකරණය සඳහා විදුහල්පතිවරුන් භාවිත කරනු ලබන මතු දැක්වෙන ක්‍රියාකාරකම්වල න්‍යායාත්මක පදනමෙහි ස්වභාවය අධ්‍යයනය කිරීම

– සැලසුම්කරණය

– සම්පත් කළමනාකරණය

– විෂය සමගාමී ක්‍රියාකාරකම් සංවිධානය

– ප්‍රජා දායකත්වය ලබා ගැනීම

මෙම අරමුණ ඉටු කර ගනු ලැබුවේ ප්‍රමාණාත්මක පාර්ශවයේ පර්යේෂණ ප්‍රශ්න මගිනි.  ඒ අනුව සැලසුම්කරණයට අදාළ වන න්‍යායාත්මක පදනම විචල්‍ය 11ක් ඔස්සේ ද, සම්පත් කළමනාකරණයේ න්‍යායාත්මක පදනම විචල්‍ය 07ක් ඔස්සේ ද, විෂය සමගාමී ක්‍රියාකාරකම් සංවිධානයේ න්‍යායාත්මක පදනම විචල්‍ය 06ක් ඔස්සේ ද, ප්‍රජා දායකත්වය ලබා ගැනීම විචල්‍ය 08ක් ඔස්සේ ද ප්‍රමාණාත්මක ව සමීක්ෂණයට භාජනය කරන ලදී.

පර්යේෂණයේ ගුණාත්මක පාර්ශ්වයට අදාළ පර්යේෂණ අරමුණු කේන්ද්‍රගත කරනු ලැබුවේ, විදුහල්පතිවරුන් සතු පාසල් කළමනාකරණය සඳහා වන උපාය මාර්ග භාවිතයේ සුවිශේෂතා පිළිබඳ ව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ අරමුණිනි. මේ සඳහා සිද්ධි අධ්‍යයන හෙවත් ප්‍රත්‍යෙක අධ්‍යයන ක්‍රමය පදනම් වූ, බහුවිධ සිද්ධි අධ්‍යයන (Multiple case studies) ක්‍රමය භාවිතයට ගනු ලැබීය. ඒ අනුව සිද්ධි අධ්‍යයන හතරක් සිදු කරනු ලැබූ අතර, එම සිද්ධි අධ්‍යයන සඳහා මතු දැක්වෙන, ගුණාත්මක දත්ත ලබා ගැනීම සඳහා උචිත වූ, පර්යේෂණ ප්‍රශ්න පහ ගොඩ නගන ලදී.

  • කුඩා පාසල් සැලසුම්කරණය කිරීම සඳහා විදුහල්පතිවරුන් උපාය මාර්ග භාවිත කරනු ලබන්නේ කෙසේ ද ?
  • කුඩා පාසල්වල සම්පත් කළමනාකරණය සඳහා විදුහල්පතිවරුන් උපාය මාර්ග භාවිත කරනු ලබන්නේ කෙසේ ද?
  • කුඩා පාසල්වල විෂය සමගාමී ක්‍රියාකාරකම් සංවිධානය කිරීම සඳහා විදුහල්පතිවරුන් භාවිත කරන ලද උපාය මාර්ග භාවිතයේ සුවිශේෂතා මොනවා ද?
  • කුඩා පාසල්වල ක්‍රියාකාරකම් සඳහා ප්‍රජාව දායක කර ගැනීම සිදු කරනු ලබන්නේ කෙසේ ද?
  • කුඩා පාසල් තුළ සහ පාසල් අතර, කළමනාකරණ උපාය මාර්ග භාවිතයේ දී දක්නට ලැඛෙන සුවිශේෂතා මොනවා ද?
  1. පර්යේෂණ පිරිසැලසුම සංවර්ධනය

සමස්ත පර්යේෂණය ගොඩ නැගෙන්නේ පර්යේෂණ පිරිසැලසුම මතයි. පිරිසැලසුමින් පර්යේෂණයේ පුළුල් දෘෂ්ටිය ගොඩ නැගෙන අතර, එය දාර්ශණික වශයෙන් කුමන ප්‍රවේශයේ දිව යන්නක් ද යන්න තීරණය වේ.

මෙම අධ්‍යයනය සඳහා යොදා ගනු ලැබුවේ  මිශ්‍ර ක්‍රමයේ පර්යේෂණ පිරිසැලසුම් අතර වඩාත් සුලභ ව යොදා ගනු ලබන හා අධ්‍යාපනික පර්යේෂණ සඳහා බහුල ව භාවිත කරනු ලැබූ පර්යේෂණ පිරිසැලසුමකි (Anthony & Leach, 2006). එනම් විවරණාත්මක ආනුක්‍රමික පිරිසැලසුම (The explanatory sequential design) හෙවත් අනුගාමී විස්තරාත්මක මිශ්‍ර ක්‍රමයේ පර්යේෂණ පිරිසැලසුම (Sequential Explanatory Mixed Method Design) වේ (Creswell, 2002, 2003; Creswell et al., 2003). මෙම පර්යේෂණ සැලසුම පියවර දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වේ. පළමු පියවර වන්නේ ප්‍රමාණාත්මක දත්ත එක්රැස් කර ගැනීමයි. මේ සඳහා ප්‍රමාණාත්මක හා සංඛ්‍යාත්මක දත්ත එක්රැස් කර ගැනීමේ  පරමාර්ථය වන්නේ ගැටලූවට අදාළ විචල්‍ය පිළිබඳ ව දත්ත, ප්‍රමාණාත්මක ව එක්රැස් කර ගැනීමයි. දෙවන පියවර වන්නේ ගුණාත්මක දත්ත එක්රැස් කර ගැනීමයි. මෙහි පරමාර්ථය වන්නේ ප්‍රමාණාත්මක ව හඳුනා ගනු ලැබූ විචල්‍යවල හැසිරීම කෙබඳු ආකාරයකට සිදු වන්නේදැ යි ගුණාත්මක කරුණු ඔස්සේ විමසා බැලීමයි. මෙම අධ්‍යයනයේ පළමු පියවර වශයෙන් කුඩා පාසල් කළමනාකරණය සඳහා විදුහල්පතිවරුන් විසින් ගනු ලැබූ උපාය මාර්ග මොනවා ද යන්න ප්‍රමාණාත්මකවත් දෙවන පියවරේ දී එම උපාය මාර්ග භාවිතයේ දක්නට ලැඛෙන සුවිශේෂතා පිළිබඳව ගුණාත්මකවත් විමසා බලන ලදී.

දකුණු පළාතේ ක්‍රියාත්මක වන, ශිෂ්‍ය සංඛ්‍යාව 10ට වඩා අඩු පාසල් 320 සඳහා, පර්යේෂකයා විසින් ගොඩ නගා ගනු ලැබූ ලකුණු දීමේ පරිමාණයක් ආශ්‍රයෙන්, ප්‍රමාණාත්මක පර්යේෂණය සඳහා පාසල් තෝරා ගන්නා ලදී. ඒ අනුව පළාත තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන කලාප 11 නියෝජනය වන පරිදි එක් කලාපයකින් පාසල් තුන බැගින් පාසල් 33ක් සහේතුක ව සමීක්ෂණ නියැදිය සඳහා තෝරා ගන්නා ලදී. අනතුරු ව එම පාසල් 33 සඳහා ප්‍රශ්නාවලියක් ලබා දී අධ්‍යයනයේ පළමු පියවර සදහා ප්‍රමාණාත්මක දත්ත ලබා ගෙන, ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රම ඔස්සේ විශ්ලේෂණය කරන ලදී. ඉන් අනතුරු ව ප්‍රමාණාත්මක දත්ත පදනම් කර ගනිමින් කුඩා පාසල් 4ක් සිද්ධි අධ්‍යයන කිරීම සඳහා තෝරා ගන්නා ලදී. මෙය අධ්‍යයනයේ දෙවන පියවර වන අතර, ඒ මගින් පර්යේෂණ ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ගුණාත්මක දත්ත ලබා ගන්නා ලදී. එම ගුණාත්මක දත්ත ගුණාත්මක විශ්ලේෂණ ක්‍රම ඔස්සේ විශ්ලේෂණය කර පර්යේෂණ ගැටලූවට විසඳුම් සොයන ලදී.

එස්. පී. ඩබ්ලිව්. වාකිෂ්ඨ.
ගුරු උපදේශක, කලාප අධ්‍යාපන කාර්යාලය, ගාල්ල
බාහිර කථිකාචාර්ය – කැලණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සහ ජාතික අධ්‍යාපන ආයතනය.