වනාන්තරයක දී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය

ලෝකෙට යමක් ඉතිරි කළ මිනිස්සු – මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම

වනාන්තරයක දී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය.

“බී. ඒ. අබේවික්‍රම”, ලංකාවේ සිටි කීර්තිමත් උද්භිද විද්‍යාඥයෙකි. ලාංකේය දේශය පිළිබද හෘද සාක්ෂ්‍යයක් සහිත අතලොස්සක් ලාංකේය විද්වතුන් අතර ප්‍රමුඛයෙකි; මෙරට වටිනා බුද්ධිමය සම්පතකි. ඉකුත් දශක කිහිපයේ ම උද්භිද විද්‍යා විෂයයට, උද්භිද විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔහුගෙන් ඉටු වූ මෙහෙවර ඛෙහෙවින් ම පුළුල් ය. එය විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ හුදු රාජකාරි සීමාව ඉක්මවූ පුළුල් පරාසයක විහිදුණේ වෙයි. ලංකාවේ ශාක පිළිබද ව නාමාවලියක් සැකසීම ආරම්භ කළේ ඔහු ය. ඒ අනුව මුලින් ම සැකසුණේ ලංකාවේ සපුෂ්ප ශාකවල නාමාවලියයි.  ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශාක හදුනා ගත හැකි වන ලෙස, ශාක කුලවලට වෙන් වෙන් වශයෙන් අත්පොත් සකස් කිරීම ආරම්භ කළේ ඔහු ය. විෂයය සම්බන්ධ ශාස්ත්‍රීය ග්‍රන්ථ බොහොමයක ඔහු සම්පත් දායකයෙකි. ඔහුගෙන් ඉටු වූ මෙහෙවර අගයනු පිණිස, කොස්ටමාන් නමැති විදේශීය උද්භිද විද්‍යාඥයා තමන්ට අලූතෙන් හමුවුණු ශාකයක් Abarema abeywickramae යනුවෙන් නම් කළේ ය. උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තලයේ ද හසල අත්දැකීම් ඇති අබේවික්‍රම මහතා, උද්භිද විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර වැඩසටහන්වල දී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කළේ ය. ජාත්‍යන්තර ආයතනවල යෝජනා වශයෙන් මෙන් ම, ලංකාවේ දේශපාලකයින්ගේ යෝජනා වශයෙන් ද ක්‍රියාවට නංවන්නට සැරසුණු මෙරට පරිසරයට, වනාන්තරවලට හානි කර ව්‍යාපෘති රාශියකට විරුද්ධ ව කටයුතු කළේ ය. එනිසා නො වන්නට මෙරට වනාන්තරවල අවසන් කටයුතු සිදු වී බොහෝ කල් ය. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉදිරියෙන් ම සිටින රටක්. ආසියානු කලාපයේ අනෙක් සියලූ ම රටවලට වඩා වැඩි සත්ත්ව විශේෂ හා ශාක විශෙෂ විවිධත්වයක් දකින්නට පුළුවන්. ලංකාවේ උද්භිද විද්‍යාත්මක ව තිඛෙන විවිධත්වය සංඛ්‍යාත්මක ව දක්වනවා නම්, මිරිදිය ජලයේ ඇල්ගී වර්ග 890කට ආසන්න සංඛ්‍යාවක්, දිලීර 1920ක්, ලයිකන 110ක්, පාසි වර්ග 575ක්, අක්මා ශාක 190ක්, පර්ණාංග 314ක්, විවෘත බීජක 01ක් (මඩු ශාකය), ආවෘත බීජක 3100ක් … ආදී වශයෙන්  තිඛෙනවා. මේ දත්ත කලකට ඉහත කෙරුණු පර්යේෂණවලින් සොයා ගත් ඒවා. අද වන විට දත්තවල මද වෙනස් වීමක් තිඛෙන්නට පුළුවන්.

 

අතීතයේ ලංකාවේ තිබුණේ ධරණීය සංවර්ධනයක්

අපේ රටේ පැරණි සමාජ සැකැස්ම නිසා තමයි මේ ජෛව විවිධත්වය, වනාන්තර මේ තාක් දුරට ආරක්ෂා වුණේ. ජනතාව මේවා ප්‍රයෝජනයට නො ගෙන සිටියේ නැහැ. ඔවුන් තමන්ගේ එදිනෙදා වුවමනා එපාකම්වලට ඒවා ප්‍රයෝජනයට ගත්තා. නමුත් විනාශ කළේ නැහැ. තමන්ට අවශ්‍ය දේ පමණක් අර ගත්තා. අනෙක්වා පරෙස්සමින් රැක බලා ගත්තා.

‘වන සංරක්ෂණය’ කියන සංකල්පය රජ කාලේ පටන් ම අපේ රටේ පැවතුණා. වනාන්තර ආරක්ෂා කිරීම රජවරුන්ගේ ප්‍රධාන වගකීමක් වුණා. මහනුවර උඩවත්ත කැළෑව වැනි රාජසන්තක කැළෑ තිබුණා. ඒවාට කිසි ම කෙනෙකුට ඇතුළු වෙන්න පවා තහනම්. තව කැළෑ කොටසක් තිබුණා, වැසියන්ට ඒවා තුළට යන්න පුළුවන්, අවශ්‍ය දර ආදිය අහුලාගෙන ඒමට. එහෙත් ගස් කපන්න, ඒවාට හානි කරන්න තහනම්.

අතීතයේ හේන් ගොවිතැන සදහා වනාන්තර එළි කළේ එක්තරා පිළිවෙළකට. අතීතයේ හැම කුඹුරු යායකට ම යාබද ව පුංචි කැළෑවක් තිබුණා. හේන් වගාව කළේ ඒ කැළෑවෙ. හේන් වගාවට එළි කරන්න අවසර තිබුණෙ කැළෑවෙ භූමි ප්‍රමාණයෙන් 10%කට නොවැඩි ප්‍රමාණයක් දක්වා විතරයි. එළිකරන කොටසේ අවුරුදු 5ක් පමණ වගා කළාට පස්සේ නැවතත් එහි කැළෑව වැවෙන්නට ඉඩ හරිනවා. මේ ක්‍රමය නිසා පාංශු  ඛාදනයක් සිදු නොවුණු තරම්. ඒ වගේ ම, වනාන්තරත් ආරක්ෂා වුණා.

අද බටහිර විශේෂඥයො අලූත් දෙයක් වගේ හදුන්වා දෙන ‘ධරණීය සංවර්ධනය’ තමයි අවුරුදු දෙදහස් ගණනක් තිස්සෙ ලංකාවේ තිබුණෙ. ධරණීය ආකාරයට කටයුතු කෙරුණු නිසයි රටේ ජෛව සම්පත් ආරක්ෂා වුණේ.

යටත් විජිත පාලනය ලංකාවේ වන විනාශයට ප්‍රධානතම හේතුවයි

ජනගහනය වැඩිවීමත් පරිසර විනාශයට බලපෑ එක කාරණයක් වුණත් අපේ රටේ පරිසර විනාශයට, වන සංහාරයට ප්‍රධාන වශයෙන් හේතු වුණේ යටත් විජිත පාලනය. ලංකාවේ වනාන්තර කපන්න පටන් ගත්තේ පෘතුගීසි යුගයේ දි. පෘතුගීසි පාලකයෝ ඔවුන්ගේ ප්‍රයෝජනයට සහ පිටරට යැවීමට වනාන්තරවල තිබුණු වටිනා දැව වර්ග කපන්නට පටන් ගත්තා. ලන්දේසීනුත් ඒ ක්‍රමය ම අනුගමනය කළා. ‘කළුමැදිරිය’ කියන ශාකය ලංකාවේ බහුල ව තිබුණු ශාකයක්. ඒ ශාකය ලන්දේසීන්ගේ ගෘහභාණ්ඩ තැනීම සදහා විශාල වශයෙන් භාවිත කෙරුණා. මේ නිසා අද වන විට අපේ රටේ කළුමැදිරිය ඉතා දුර්ලභ ශාකයක්. බි්‍රතාන්‍ය යුගයේ දීත් මේ වන සංහාරය විශාල වශයෙන් සිදු කෙරුණා. ඒ වන සංහාරයේ තරම කොච්චර ද කියනවා නම්, මෙහෙ බි්‍රතාන්‍ය පාලකයින්ට ම බයක් ඇති වුණා, ඒ විදියට වනාන්තර කැපුවොත් රටේ අවශ්‍යතාවන්ට, ඒ කියන්නේ කෝච්චි දුවවන්නවත් දර හොයා ගන්න බැරිවේවි කියලා. මේ නිසා බි්‍රතාන්‍ය පාලකයො, 1880 ගණන්වල සංරක්ෂණ දෙපාර්තමේන්තුව පටන් ගත්තා, රජයට අවශ්‍ය දැව සහ දර ලබා ගන්න. ඒ කාලෙ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වනාන්තරයක් කීවා ම ඒකෙ ගහකොළ ආරක්ෂා කිරීමක් නැහැ. ආණ්ඩුවේ අවශ්‍යතාවලට අනුව, සමහර විට සම්පූර්ණයෙන් ම වනාන්තර කපනවා. නැත්නම් මේරූ ගස් විතරක් කපනවා. කොහොම වුණත් වනාන්තර පවත්වා ගත්තේ දැව සහ දර අවශ්‍යතා සපුරා ගන්නයි. 1948 නිදහසින් පස්සෙත් 1960 ගණන් වන තුරු වනාන්තර පවත්වා ගත්තේ මේ අවශ්‍යතා දෙක සපුරන්නයි.

පස වෙනස් වීම නිසා කුඩා පැළෑටි වද වුණා

මම පර්යේෂණ කටයුතු සදහා මුලින් ම වනාන්තරවලට ගියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන්. පස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන්. ඒ දවස්වල විශ්වවිද්‍යාලවල උද්භිද විද්‍යාව හදාරන ශිෂ්‍යයින් අවුරුද්දකට වතාවක් වනාන්තරවලට ගෙනියනවා. මේ විදියට ගාල්ලෙ කන්නෙලිය වනාන්තරයට ගියා ම මට දැනුණු දෙයක් තමයි, මුල් වතාවල දකින්නට ලැබුණු පැළෑටි වර්ග පසු ව යන වතාවල දි දකින්නට නැති එක. මේ තත්ත්වය පිළිබද ව සොයා බැලූවා ම ඒකට හේතුව හෙළි වුණා. වනාන්තරේ මැද විශාල ගස් කපලා, ඒ දැව කදන් බිම දිගේ ඇදගෙන ඒම නිසා හැදුණු පාරවල්වල පස තද වෙලා, පස වෙනස් වෙලා ඒ පුංචි පැළෑටි වද වෙන්න පටන් අරන්.

1960 දශකයේ අන්තර්ජාතික ව ලෝකය පුරා පර්යේෂණ වැඩසටහනක් ආරම්භ වුණා. ඒකෙ ලංකාවේ නියෝජිතයා වශයෙන් මාව පත් කෙරුණා. අවුරුදු කිහිපයකට පසු අපි කිහිප දෙනෙක් එකතු වෙලා වෙන ම කමිටුවක් පිහිටුවා ගත්තා. එතැන දි මං යෝජනා කළා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, අපේ රටේ වනාන්තරවල ගස් කපල ඉවත් කරද්දි වනාන්තරවල මැදින් පළමුවෙන් ම ගස් ඉවත් කරන්න පටන් ගන්න එපා කියලා, කිසියම් දුරකට හෝ කුඩා පැළෑටි ආරක්ෂා කර ගැනීම ස`දහා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා යෝජනාව පිළිගත්තා.  ඒ දවස්වල ම වනාන්තර තිස් ගණනක් විතර තෝරා ගෙන සීමා ලකුණු කරල බෝඩ් ලෑලි දැමුවා, “අන්තර්ජාතික රක්ෂිත වනාන්තර” කියලා. මේ ‘අන්තර්ජාතික’ කියන වචනෙ නිසා මිනිස්සු මේවා ගැන සැලකිල්ලක් දැක්වුවා. ඒවට අත තියන්න ගියේ නැහැ. ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණයට මෙමගින් ලොකු වාසියක් වුණා.

සිංහරාජය කපන්නට පිඹුරුපත් සැකසේ

60 දශකය අග භාගයේ සිංහරාජ වනාන්තරයේ ගස්, දැව සදහා කපන්න යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ දැව යොදා ගෙන තුනී ලෑලි සහ දැව කර්මාන්තය කිරීමයි සැලසුම වුණේ. මේ සදහා අවිස්සාවේල්ලේ, කොස්ගම විශාල කර්මාන්ත ශාලාවක් පවා ඉදි කෙරුණා. මේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර තිබුණේ එවකට තුනී ලෑලි සංස්ථාවෙ සභාපති ඩබ්ලිව්. ජී. වීරරත්න මහත්තය. මේක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තෙ 1967. මේ වගේ එක කර්මාන්ත ශාලාවකට පමණක් නෙවෙයි, තවත් විශාල එකකට වුණත් පාවිච්චි කරන්න තරම් දැව ලංකාවෙ තියෙනව කියල ඔහු කියා තිබුණා. ඒ කාලේ තිබුණෙ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවෙ කර්මාන්ත ඇමති වෙලා හිටියෙ පිලිප් ගුණවර්ධන මහත්තයා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළොත් තමන්ගෙ අවිස්සාවේල්ල ආසනේ මිනිස්සුන්ට රැකියා ලබා දෙන්න පුළුවන් වෙන නිසා, පිලිප් ගුණවර්ධන මහත්තයා මේ ව්‍යාපෘතියට බොහොම කැමති වුණා. කොස්ගම, කැලණි ගගට සැතපුම් තුනක් පමණ ආසන්නයේ තිඛෙන නිසා, කිතුල්ගලින් කපන දැව කැලණි ගග දිගේ ගෙනැවිත් ඇල මාර්ගයක් කපා ඒ දිගේ කර්මාන්ත ශාලාව වෙත ගෙන එන්නට යෝජනා වී තිබුණා. මේ වගේ හේතු මහ ගොඩක් ඉදිරිපත් කර මේ කම්හල සදහා ඉතා ම සුදුසු කොස්ගම කියල තෝරාගෙන තිබුණා. ඒ විවිධ වාසි ගැන හිතල පිලිප් ගුණවර්ධන මහත්තයා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.

වැරදි ඇස්තමේන්තු වැරදි තීරණ

අපි කිහිප දෙනෙක් පෞද්ගලිකවත් ආයතනික වශයෙනුත් මේ ව්‍යාපෘතියට විරෝධය පළ කළා. සිංහරාජය කැපුවොත් පස සෝදා පාඵ වෙනවා, ගංගාවලට ලැඛෙන ජල ප්‍රමාණය අඩු වෙනවා, ඉතිං මේක ක්‍රියාත්මක කළොත් පරිසරයට මොන වගේ බලපෑමක් වේවි ද කියල අධ්‍යයනය නො කර මේක ක්‍රියාත්මක කරන එක සුදුසු නැහැ කියල අපි කිවුවා.

කොස්ගම කර්මාන්ත ශාලාව ඉදිකර අවසන් වුණේ 1972 දි. ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළිලා බලයේ හිටියේ සමගි පෙරමුණ. අපි මේ ව්‍යාපෘතිය ගැන කළ බලපෑම් නිසා සමගි පෙරමුණු ආණ්ඩුව තීරණයක් ගත්තා, මේ ගැන සොයා බලන්න කමිටුවක් පත් කරන්න. කමිටුවේ දී අපි වීරරත්න මහත්තයාගෙන් ඇසුවා, දැව විශාල ප්‍රමාණයක් තිඛෙන බව ඔබ කියන්නේ මොන සාධක මත ද කියලා. ඔහු කිවුවා, කැනේඩියානු පිරිසක් විසින් 1951- 56 කාලේ කළ අධ්‍යයනයක වාර්තාවට අනුව කියලා. එහෙත් ඒ වාර්තාවෙ තිබුණේ ලංකාවෙන් අවුරුද්දකට ගන්න පුළුවන් දැව ප්‍රමාණය මෙපමණයි, එයින් භාගයක් විතර ප්‍රමාණයක් ගස් මැදින් දිරල නිසා ප්‍රයෝජනයට ගන්න පුළුවන් සම්පූර්ණ දැව ප්‍රමාණයෙන් භාගයක් විතරයි කියල.

ඊළගට අපි කිවුවා, තුනී ලෑලි සදහා පාවිච්චි කරන දැව කදන් නියමිත විශ්කම්භයක් සහිත ඒවා විය යුතුයි. ඊට වඩා අඩු දැව කදන් පාවිච්චි කරන්නත් බැහැ, අනිත් එක මේ සදහා වියළි කලාපීය වනාන්තරවල ගස් යොදා ගන්නත් බැහැ, මොකද ඒවා ගොඩක් ශක්තිමත්, ඒ නිසා පහසුවෙන් කපන්න පුළුවන් තෙත් කලාපීය වනාන්තරවල ගස් විතරයි යොදා ගන්න වෙන්නේ කියලා.

මේ විදියට බලන කොට තුනී ලෑලි කර්මාන්තයට භාවිත කළ හැකි මට්ටමේ තියෙන්නේ ඉතා ම සුඵ දැව ප්‍රමාණයක් කියල අපි පෙන්වා දුන්නා. අන්තිමේ වීරරත්න මහත්තයා පිළිගත්තා, ඔහු ඒ කැනේඩියානු වාර්තාව හරියට කියවල තේරුම් ගන්නේවත් නැතිවයි ව්‍යාපෘතිය සැලසුම් කර තිඛෙන්නේ කියල.  ඊළගට අපි මේ ගැන තිබුණු ඇස්තමේන්තු පරීක්ෂා කළා. ඒවායේ තිබුණෙ සිංහරාජයේ අක්කරයකින් දැව ඝන අඩි 1500-1800ක් ගන්න පුළුවන් කියලා. මං කිවුවා, ඝන අඩි 1500-1800ක් නෙවෙයි, එයින් 1/3ක් විතරයි ගන්න පුළුවන් කියල. අවසානයේ කපල බලන කොට අපි කියපු ප්‍රමාණය තමයි ලැබුණෙ.

කමිටු වාර්තාව අපි අගමැතිතුමියට ඉදිරිපත් කළා. ඒක පරීක්ෂා කරල ඇය ඇසුවා, ආණ්ඩුවට පාඩුවක් විදගෙන හරි මේ ෆැක්ටරියයි ඒකෙ යන්ත්‍ර සූත්‍රයි වෙන කාට හරි විකුණා දාන්න පුළුවන් ද කියලා. ඒ වන විට කම්හල වෙනුවෙන් ඉතා විශාල මුදලක් වැය කොට තිබුණා. ඒ සදහා ලැබුණු ණයත් පොළියත් ගෙවන්න සිදු වී තිබුණා. එතකොට ඩොරික් ද සූසා මහත්තයා කිවුවා, ‘නෑ මැඩම් කවුරුවත් ඕක ගන්නේ නෑ’ කියලා. ඒ නිසා සිංහරාජය සම්පූර්ණයෙන් ම කපා දමන්නේ නැති ව, එයින් අක්කර 5000ක් පමණක්  අවුරුදු 5ක් තිස්සේ කපමින් කම්හලේ වැඩ කරගෙන යන්න තීරණය වුණා. ඒ අතරෙ ම, රබර් දැව යොදා ගන්නත් යෝජනා වුණා. මේක 1973 -1978 දක්වා ක්‍රියාත්මක වුණා. එහෙත් අපි කීව ප්‍රමාණයට වඩා තරමක් වැඩියෙන් සිංහරාජයෙ දැව කපා තිබුණා. 1978 වෙද්දි රජය නැවතත් වෙනස් වෙලා. එතකොට ජයවර්ධන මහත්තයාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණෙ. රජය මාරුවෙලා තිබුණත් සිංහරාජය කපන එක දිගට ම කෙරීගෙන ගියා. එහෙත් මේක නැවැත්වීමේ අවශ්‍යතාව අපට තිබුණා. ඒ දවස්වල හිටපු නෙළුවේ ගුණානන්ද හාමුදුරුවන් මාර්ගයෙන් ඔහුට දක්වපු කරුණු දැක්වීමක දි, ජේ. ආර්. ජයවර්ධන මහත්තයා කැමති වුණා මේ ව්‍යාපෘතිය නවතා දමන්න.

ලංකාවේ වනාන්තරවලට ලෝක බැංකු – ෆින්ලන්ත හෙනහුරෙක්

1981 දි ලංකාවට ෆින්ලන්තයෙන් පර්යේෂකයින් පිරිසක් ඇවිත් අවුරුදු 4-5ක අධ්‍යයනයක් කළා, වනාන්තරවල කොපමණ දැව තිඛෙනව ද කියල. අධ්‍යයන වාර්තාව Forestery Master Plan of Sri Lanka කියල 1986 දි ඉදිරිපත් කළා. වාර්තාවේ ඔවුන් කිවුවා, ලංකා භූමියෙන් 30%ක් වනාන්තර තිඛෙනව, ඒවයින් විශාල ප්‍රමාණයක් දැව වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ දැවවලින් කර්මාන්ත ඇති කරල මුදල් උපයන්න ව්‍යාපෘතියක් යෝජනා කර තිබුණා. මේ සදහා ආධාර කෙරුණේ ලෝක බැංකුවෙන් සහ ෆින්ලන්තයේ ෆිනීඩා ආයතනයෙන්. මේ ව්‍යාපෘති වාර්තාව ලංකාවේ විද්‍යාඥයින්ටවත්, මහජනයාටවත් ඉදිරිපත් කරන්නේ නැති ව, මුලින් ම රජයේ ස්ථීර ලේකම්වරුන්ගේ කමිටුවක දි සම්මත කර තිබුණා. පිටු 150ක විතර මේ රහසිගත වාර්තාව මට කියවන්න ලැබුණා. මං ඒක තුන් වතාවක් ම කියෙවුවා. මගේ හිතට විශාල කම්පනයක් දැනුණා. ඒ වාර්තාවෙ යෝජනා කර තිබුණේ අපේ රටේ වනාන්තර සියල්ල ම කපා දමන්න කියලා. මං වහා ම මේ ගැන මධ්‍යම පරිසර අධිකාරියටයි, විද්‍යා සභාවටයි දැන්වුවා, මේක නිසා පරිසරයට වන හානි සොයා බලන්නේ නැති ව මේක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න එපා කියලා. ඊට පස්සේ අපි මේ ගැන සාකච්ඡා කරන්න රැස්වීමක් කැදවුවා. අපි කළ ආරාධනයට අනුව මේ ව්‍යාපෘතියට මූලික වූ ෆින්ලන්ත සමාගමේ ප්‍රධානියත් මේ රැස්වීමට ආවා. රැස්වීම අවසානයේ ඔහු කිවුවා, මේක අවසාන වාර්තාව නෙවෙයි, තව සංශෝධන කරන්න තියෙනවා, මේ රැස්වීමේ මතු වූ අදහස් අනුව කල්පනා කරල ඒ සංශෝධන කරනව කියල.

ඒ අය ඊළගට දෙවැනි වාර්තාව සකස් කළා. ඒත් මේකෙත් වැඩි වෙනසක් තිබුණෙ නැහැ. එහෙත් ඒකෙ අවසානයෙ සදහන් කර තිබුණා, මේ ව්‍යාපෘති යෝජනාවලට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැමති නැහැ, මෙසේ විරෝධතා මැද කටයුතු කරන්නට වන නිසා තම යෝජනා සම්පූර්ණයෙන් ම සාර්ථක වේ දැයි කියන්න බැහැ, මේ නිසා අපේක්ෂිත ලාභය 25%ක් වුණත් එය 4% දක්වා අඩු වෙන්න පුළුවන්. ඒත් ලැඛෙන ලාභය 4%ක් බව ස`දහන් කළා ම ව්‍යාපෘතියට ආධාර දෙන්න අපේක්ෂාවෙන් සිටින ආයතන ආධාර දෙන්න කැමති වෙන්නෙ නැහැ කියල.

ඊට පස්සේ දෙවැනි වාර්තාවත් සංශෝධනය කර, තුන්වැනි වාර්තාව සකස් කළා. මේක 1987 නොවැම්බර්වල කැබිනට් මණ්ඩලය තුළ සම්මත කර ගන්න ඉදිරිපත් කර තිබුණා. එතකොට අගමැති ප්‍රේමදාස මහත්තයා ඔහුගෙ ලේකම්ට කියා තිබුණා, මේ වාර්තාව ගැන මගේ අදහස් මොනවද කියල දැනගෙන තමන්ට දන්වන්න කියල. ඔවුන් කිවුවෙ එක වාර්තාවයි තිඛෙන්නේ කියල. මං කිවුව මේ සම්බන්ධ ව වාර්තා තුනක් ඉදිරිපත් කර තිඛෙනවා, මේ වෙන කොට ඒ වාර්තා තුනේ ම පිටපත් මා ළග තිඛෙනව, ඒ වාර්තාවල අඩංගු කරුණු බොහොමයක් වැරදියි, ඔවුන් කියන තරම් 30%ක වනාන්තර ප්‍රමාණයක් ලංකාවේ ඇත්තෙත් නැහැ, 24%ක විතර ප්‍රමාණයක් තිඛෙන්නේ කියල.

කැබිනට් එකේ මේ වාර්තාව ගැන සාකච්ඡා කිරීම අවුරුදු කිහිපයක් යටපත් වී තිබුණා. එහෙත් 1989 ආණ්ඩුව විසුරුවා හරින්න ටික දවසකට කලින් නැවත වාර්තාව ගැන කැබිනට් එකේ සාකච්ඡා කර තිබුණා. එක ඇමතිවරයෙක් කියල තිබුණා, ‘ඉස්සර මේ ව්‍යාපෘතියට විරුද්ධ වුණු හැමෝම දැන් මේ යෝජනාවලට එක`ගයි. අර මහාචාර්ය අබේවික්‍රම විතරයි මේකට තවමත් විරුද්ධ වෙන්නේ. එයා කියන දේවල ගණන් ගන්න තරම් දෙයක් නැහැ. එයා කියන තරම් අනතුරක් මේකෙ නැහැ. ඒ නිසා කැබිනට් අනුමැතියෙන් වහා ම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පටන් ගනිමු’ කියල. එහෙත් නැවතත් මගෙන් මේ ගැන අදහස් විමසුවා. මං මේ ව්‍යාපෘතියට විරුද්ධ වෙන්නට හේතු එක්  එක් කාරණා යටතේ පැහැදිලි ව ස`දහන් කළා. අන්තිමේ කොහොම හරි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ නැහැ.

ටික කාලෙකට පස්සේ ලෝක බැංකුව, මේ ව්‍යාපෘතිය ගැන නැවතත් සොයා බලන්න පටන් ගත්තා. ඒ දවස්වල ‘වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ’ සභාපතිතුමා මට කිවුවා, මේ ව්‍යාපෘතියට විරුද්ධ ව නැවතත් කරුණු දක්වන්න, නැත්නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න නැවතත් පටන් ගනීවි කියලා. මම පැය කිහිපයක් කරුණු ඉදිරිපත් කළා, ලෝක බැංකුවෙ නියෝජිතයින්ට, මේ ව්‍යාපෘති වාර්තාවෙ කියන කාරණා වැරදියි, මේව ක්‍රියාත්මක කළොත් අපේ රටේ පරිසරයට විශාල හානියක් වෙනවා කියල.  ලෝක බැංකු නියෝජිතයො කිවුවා, ලංකාවෙ වනාන්තරවල දැව කොපමණ තිඛෙනව ද කියන එක ගැන නැවත සොයා බලල මේ පිළිබද ව ඔවුන්ගේ තීරණය අවුරුද්දකින් දැනුම් දෙන්නම් කියල. මාස හයකට විතර පස්සේ දන්වා එවුවා ඔවුන්ට අප දැක්වූ කාරණා ඇත්ත, ඒ වාර්තාවල ස`දහන් කර තිබුණු දැව ප්‍රමාණයෙන් 40%ක් වගේ ප්‍රමාණයක් තමයි වනාන්තරවල තිඛෙන්නෙ කියල. අන්තිමේ ඒ ව්‍යාපෘතියට අනුව ලංකාවේ කැළෑ කපන යෝජනා නැවතුණා. ඊට පස්සේ රජය තීරණය කළා, ලංකාවේ තෙත් කලාපීය වනාන්තරවල දැව කැපීම සම්පූර්ණයෙන් ම නවත්වන්න. ඒ වුණාට තවමත් වනාන්තරවල දැව කැපීම නො නවත්වා ම අනවසරයෙන් සිදු කෙරෙනව. දවස ගානෙ දැව මඩුවලට දැව ප්‍රවාහනය කෙරෙනවා. ලංකාවේ මේ වන විට වනාන්තර තිඛෙන්නේ 20%කට ආසන්න ප්‍රමාණයක්. එහෙත් මේ දැව කපන විදියට මේ වනාන්තර ප්‍රමාණය තව කොපමණ කාලයක් තිබේවි ද කියන්න බැහැ.

ජෛව සම්පත් කොල්ලය නවත්වන්න ලෙහෙසි නැහැ

ලෝකය පුරා දැන් ජෛව සම්පත් කොල්ලයක් ක්‍රියාත්මක වෙනවා. මේක බහුජාතික සමාගම්වල වැඩපිළිවෙළක්. ඔවුන් ජාන සම්පත් හොරෙන් අරන් යනවා. මට නම් හිතෙන්නේ මේක නවත්වන්න හු`ගක් අසීරුයි. පවතින තත්ත්ව තුළ ඕව හොරෙන් ගෙනියන එක පහසුවෙන් කරන්න පුළුවන්. විදේශ විනිමය ලබාගන්න කියල මේ වෙනකොට විශාල වශයෙන් ලංකාවෙ පැළ අපනයනය කරනවා. මේවා අතරෙ හොරෙන් මොන මොන පැළෑටි යනව ද කියල කවුරුවත් දන්නේ නැහැ. මල් ඇට වගේ ඒව සාක්කුවක දාගෙන වුණත් කාටවත් නොපෙනෙන්න රැගෙන යන්න පුළුවන්. මේ විදියට ලංකාවේ පැළෑටි ගෙනිහින් හොනලුලූවල විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. රේගුවෙන් උත්සාහ කරනව මේවා නවත්වන්න. එහෙත් නීතිමය වශයෙන් වුණත් මේක නවත්වන්න ලෙහෙසි නැහැ.

මේ රටේ වනාන්තරවලින් ගත් වනජ ද්‍රව්‍යයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නීත්‍යනුකූල අවසරයකින් තොර ව විදේශගත කරන්න බැහැ. එහෙත්  එක උසස් අධ්‍යාපන ආයතනයක්, ලංකාවේ වනාන්තරවල තිඛෙන පැළෑටි ගණනාවක නිස්සාරක රට යවා තිඛෙනවා, කාගෙවත් අවසරයක් නැති ව.

බහුජාතික සමාගම් ලෝකය ම පාලනය කරන මාෆියාවක්

ජාන වෙනස් කළ ආහාර ගැන ලෝකය පුරාත් ලංකාවේත් ආන්දෝලනයක් ඇති වී තිඛෙනවා. . කවුරුවත් තව ම හරියට ම දන්නේ නැහැ, ජාන වෙනස් කළ ආහාර නිසා මිනිසාට මොන වගේ බලපෑම් ඇති වෙනව ද කියල. අවුරුද්දක් හෝ දෙකක් බැලූවයි කියල, මේවා මගින් හානියක් වෙන්නේ නැහැයි කියල නිගමනය කරන්න බැහැ. 1940 ගණන්වල ‘දුම්බීම ඇගට ගුණයි’ කියනව මිස, ඒකෙන් හානි වෙනව කියල කිව්වේ නැහැ. ‘දුම්බීම අහිතකරයි’ කියල ඉදිරිපත් වුණු මත දුම්කොළ සමාගම් විසින් යටපත් කර දැමුවා. මේ සමාගම් විශ්වවිද්‍යාලවල පර්යේෂකයින්ට මුදල් දීල ‘පර්යේෂණ’ කෙරෙවුවා, දුම්බීමෙන් හානියක් නැහැ, ගුණයි කියල පෙන්වන්න. ඊට පස්සේ ඒව විශ්වවිද්‍යාල සගරාවල, විද්‍යා සගරාවල පළ කෙරෙව්වා. මේවා සදහා මුදල් ලබා දුන්නේ දුම්කොළ සමාගම්.

දැන් වන විට ජෛව තාක්ෂණයත්, තොරතුරු තාක්ෂණයත් හැම රටකට ම බැරෑරුම් ප්‍රශ්න ඇති කරමින්  තිඛෙනවා. මේ සියල්ල ම තිඛෙන්නේ බහුජාතික සමාගම් සතු ව. පර්යේෂණ කරන්නේ, භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ඔවුන්. ලෝකෙ පුරා ම ජනමාධ්‍ය පාලනය කරන්නේ ඔවුන්. භාණ්ඩ ගැන වුණත් දේශපාලන වශයෙන් වුණත් ඔවුන් කියන දේවල් තමයි ලෝකයට ඇත්ත විදියට යන්නේ. මේ සමාගම් අද ලෝකය පුරා ම පැතිරුණු, ලෝකය ම පාලනය කරන මාෆියාවක්.

 

2001 වසරේ ‘සිතිජය’ මාසික සගරාවට කළ සමුමුඛ සාකච්ඡාවක් ඇසුරිනි                           

     සංවාද සටහන  ප්‍රභාත් චින්තක මීගොඩගේ