කොවිඩ් සන්නියේ හීන් සිතුවිල්ලක්

36_2 කොවිඩ් සන්නියේ හීන් සිතුවිල්ලක්

අනපේක්ෂිත ගෝලීය අර්බුදයක් වූ කොරෝනාව එහි මුල අවධියේ අපට ඇති කළේ වික්ෂිප්තභාවයකි. එම නිසා මුල් අදියරේ සිදු වූයේ චිත්තවේග හැගීම් පරාසයක් ජනිත වීමයි. ගුණාත්මක ව ගත් කල ඕනෑ ම අර්බුදයක් හමුවේ මානවයාට ඇති වන බිය, සැකය, කලබල වීම, අදහාගත නොහැකි වීම ස්වාභාවික ය. මෙම චිත්තවේග ප්‍රමාණාත්මක ව වැඩි විය හැකි ය.

කොරෝනාවේ මුල් අදියර බිය අවධිය ලෙස හඳුන්වයි. මෙම අවධියේ දී ඇතිවන චර්යාව කලබල වීමයි. මරණ බය මහා පරිමාණයෙන් වැඩි කරයි. ඉවක් බවක් නොමැති ව බඩු බාහිරාදිය එකතු කිරීම ඊට නිදසුනයි. ඇඳිරි නීතිය ඉවත් කළ විගස මිනිසුන් ගාල කඩා ගෙන යනවා සේ කටයුතු කළේ ද මේ නිසා ය.

තවත් සමහරු තමන්ගේ සිත තුළ ඇතිවන කැලඹීම තවකකු පිට පටවති. හාවා අහස කඩාගෙන වැටෙනවා යයි දිව ගියා සේ මෙම වකවානුව තුළ කටකතා, දුර්මත ආදියට හොඳ තෝතැන්නක් සැපයේ. අතට අහුවෙන ඕනෑ ම විෂබීජ නාශකයක් ගත පුරා නෑවීමට ද හේතු වූයේ මෙයයි. ප්‍රමාණවත් විද්‍යානුකූල දැනුම ද අවම වීම නිසා මෙම දුර්මත වඩා ලේසියෙන් සමාජ ගත විය. කොරෝනා අරුබුදයට විසඳුම් ලෙස නොයෙක් ආකාරයේ හිතළු ඉස්මතු වූයේ ද මේ නිසා ය. මෙම වකවානුව බොහෝ දුරට තමන් ගැන සිතන වකවානුවයි. කැලබුණු සිත සංකීර්ණ ගැටලූවලට සරල විසඳුම් සොයයි. බය මුල් වූ, විශේෂයෙන් මරණ බය මුල් වූ සිත සංයමයෙන් නිරවුල් විසඳුම් සොයා යාමට ඉඩ අහුරයි.

ඊළඟට එලැඹෙන්නේ learning zone හෙවත් ඉගෙන ගන්නා කාලයයි. අර්බුදයට යම් පමණක අනුවර්තනයක් ඇතිවන මෙම වකවානුවේ කැලඹීම අඩුවීමත් හිත තුළ කලබගෑනිය යම් මට්ටමකට තුනී වීමත් නිසා මිනිසා තර්කානුකූල ව මෙන් ම යථාර්ථවාදී ලෙස සිතීමට පෙලැඹෙයි. ඇඳිරි නීතිය ඉවත් කළ ද වැඩි දෙනකු එළියට නොපැමිණෙන්නේ මේ නිසා ය.

විෂබීජහරණ කුටි විද්‍යාත්මක නොවන බවත්, අනවශ්‍ය ප්‍රමාණයෙන් විෂබීජ නාශක සම්ප්‍රේෂණය අනවශ්‍ය බවත් මතු වන්නේ ද මේ නිසා ය. අත සේදීම හා ශාරීරික දුරස්ථ භාවය සුරැකීම කේන්ද්‍රිය ම කටයුත්ත බව පසක් වේ. එය අනුගමනයට පෙලැඹේ. මුව ආවරණය මෙම මූලික ම කටයුතුවලට ආධාරකයක් මිසක විකල්පයක් නො වන බව පසක් වේ.

තුන් වන අදියර growth zone හෙවත් වර්ධන කාල පරිච්ඡේදය යි. අර්බුදය පරාජය කොට යළි නැගිටීමට පෙලැඹෙන මෙම වකවානුව තුළ නිර්මාණශීලි ලෙස විසඳුම් සොයයි. ක්‍රමානුකූල ව සාමාන්‍ය ජන ජීවිතයට එලැඹීමට ක්‍රම සොයයි. සංයමයෙන් බල ගැන්වීම තුළින් සාමුහික ව අර්බුදයට තර්කානුකූල විසඳුම් සොයයි. ඕනෑ ම විසඳුමක් තුළ වාසි මෙන් ම අවාසි ද ඇති බව තේරුම් යයි. ඒවා කිරා මැන බලා යථාර්ථවාදී තීන්දු තීරණවලට එලැඹෙයි.

මෙම අදියර තුන එකිනෙකට සහමුලින් ම ඉරි ගසා වෙන් කළ හැකි අදියර නො වේ. එසේ ම සෑම කෙනෙක් ම මෙම අදියර තුන අනිවාර්යයෙන් ම පසු නොකරයි. තවත් සමහරු ඉතා වේගයෙන් මෙම අදියර පසු කරති.

මහාචාර්ය අතුල සුමතිපාල

========================================================================================================