නිපුණතා සංකල්පය  (Competencies Concept)

පූර්ව ළමා විය සහ ළමා විය ගත කරන සිසුන් වෙනුවෙන් සැලසුම් කරනු ලබන අධ්‍යාපනයේ ප්‍රමුඛ පරමාර්ථය විය යුත්තේ, සිසුන්ගේ නිපුණතා (Competencies) සංවර්ධනය කිරීම ය. නිපුණතා  සංවර්ධනය කිරීම යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැයි යනු විග්‍රහ කිරීම,පොදුවේ ගුරුවරුන්ටත් දෙමාපියන්ටත්  වැදගත් වන්නේ, එමගින් ශිෂ්‍ය නිපුණතා සංවර්ධනයට දායක විය හැකි දෙපාර්ශ්වයක් ලෙස, ඔවුන් සතු විය යුතු දායකත්වය මැනවින් ක්‍රියාත්මක කිරීමට පදනමක් සැපයීමට හැකි නිසා ය. ඒ අතර ම අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමේ දී ද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ ව විෂයමාලාව ද විෂයමාලා ද්‍රව්‍ය ද (විෂය නිර්දේශ, පෙළ පොත්, මොඩියුල, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ වැනි) සංවර්ධනය කිරීමේ දී ද නිපුණතා සංකල්පය පදනම් කර ගත හැකි නිසා ය.
 
නිපුණතාවක් අත්පත් කර ගන්නා විට, තුන් ආකාරයකින් ශිෂ්‍ය චර්යාව සංවර්ධනය වන්නේ ය. එම තුන් ආකාරය වන්නේ දැනුම, කුශලතා සහ ආකල්ප ය. මේ තුන් ආකාරය අතර ඇති සම්බන්ධය අපි දැන් තේරුම් ගනිමු.

පළමු ව ශිෂ්‍යයාට ලැබිය යුතු දැනුමින් ශිෂ්‍යයා පොහොසත් විය යුතු ය. උදාහරණයක් සැලකුව හොත්පැන්සල යන උපකරණය දකින ශිෂ්‍යයාට, ‘මා දකින්නේ පැන්සලක් ය’ යන දැනුම (Knowledge) ලැබී තිබේ. මෙහි දී මට මතක් වනුයේ 1994 වර්ෂයේ දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට ගිය විටක, එහි සිසුන්ගේ අධ්‍යාපනය ගැන සාකච්ඡා කරන විට, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැළි කීප දෙනකු පැවසූ කරුණකි. එනම් බිහාරයේ සමහර  ගම්වල ළමයින්ට පැන්සල යන සංකල්පය හෙවත් ද්‍රව්‍යය ගැන දැනුමක් නොතිබීම ය. ඒ නිසා එහි ළමයින්ට පැන්සලක් දුන් විට එයින් කරන්නේ කුමක් දැයි නො දැනිඔහේ පැන්සල අතේ තියාගෙන සිටින’ ශෛලියක් නිරීක්ෂණය කළ හැකි විය. මේ පදනම මත කුමන දෙයක් පිළිබඳ ව හෝ, පළමු ව දැනුම ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
 
 පැන්සල පිළිබඳ ව දැනුම ලබා ගත් ශිෂ්‍යයාට, දෙවනු ව අවශ්‍ය වනුයේ, පැන්සල භාවිත කිරීමේ කුශලතාව (Skill) ලබා ගැනීම ය. පැන්සල භාවිතයෙන් ලිවීමේ කුශලතාව ලබා ගත් විට, එකී කුශලතාව පදනම් කර ගෙන, ශිෂ්‍යයාට විවිධ රූප ද අකුරු ද අකුරු එකතු කර පද ද පද එකතු කර  වාක්‍ය ද වාක්‍ය එකතු කර ඡේද ද ලෙස, ක්‍රමයෙන් පළල් වන හා ක්‍රමයෙන් සංකීර්ණ වන කුශලතා අත්පත් කර ගැනීම අවශ්‍ය වේ. මෙයාකාර විවිධාකාර-විවිධ තලවල  කුශලතා ලබා දීමේ බැරූරුම් කාර්ය පාසල විසින් ඉටු කරනු ලැබිය යුතු වේ.  
 
 මීට අමතර ව, පාසල විසින් තෙවනු ව ඉටු කළ යුතු ව තිබෙන කාර්යයක් වනුයේ, ‘ආකල්ප Attitude’ සංවර්ධනය කිරීමට උචිත පරිදි ඉගැන්වීම්-ඉගෙනුම් ක්‍රියාවලිය හැඩ ගැස්වීම ය. උදාහරණයක් ලෙස පැන්සල නමැති අගනා මිනිස් නිර්මාණය භාවිත කළ යුතු වන්නේ, ලිවීමෙන් ස්වකීය අදහස් නිර්මාණාත්මක ව පළ කිරීමට මිස, වෙනත් අයකුට හානි වන ලෙස එය භාවිත කිරීමට නො වේ.  ‘තම පන්තියේ ම සිටින වෙනත් ශිෂ්‍යයන්ට පහර දීමට – ඇනීමට පැන්සල භාවිත නො කළ යුතු ය’ යන ධනාත්මක ආකල්පය සිසුන් තුළ ස්ථාපිත කිරීම ද පන්තිකාමර ඉගැන්වීම්-ඉගෙනුම් ක්‍රියාවලියට අයත් කාර්යයක් වන්නේ ය.  

 ‘පැන්සල’ නමැති සරල උදාහරණය පදනම් කර ගෙන, පැහැදිලි කරන ලද නිපුණතා යන සංකල්පය සහ ඊට ඇතුළත් මූලික සංකල්ප තුන, සමාජයේ විවිධ ස්තරවලට ද අදාළ වන සේ පැහැදිලි කළ හැකි ය. ඉතා හොඳින් ඉගෙන ගෙන විභාග සමත් වී රජයේ ඉහළ තනතුරකට පත් වන නිලධාරියකු, තමාගෙන් උපදෙස් හෝ සේවය ලබා ගන්නට පැමිණෙන විවිධ පුද්ගලයන්ට කතා කරන ආකාරය ද උපකාර කරන ආකාරය ද විවිධ විය හැකි ය. තම සේවය ලබන්නට පැමිණෙන
පුද්ගලයන්ගේ ස්වභාවය අනුව (උදා- දුප්පත් පොහොසත් ලෙස වෙනස් වන පුද්ගලයන්) එසේ කතා කරන හා උපකාර කරන ආකාරය වෙනස් වන්නේ නම්, නිලධාරියාගේ නිපුණතා  මැනවින් සංවර්ධනය වී නැත.
 
ඊට හේතුව වන්නේ, නිලධාරියාට තම වෘත්තිය ගැන දැනුම තිබුණ ද එම දැනුම භාවිත කළ යුතු ආකාරය ගැන නිවැරදි දෘෂ්ටියක් හා ආකල්පයක් ඔහු සතු නො වන නිසා ය.


ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු
හිටපු අධ්‍යක්ෂ
පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය