ශ්‍රී ලංකාවට ආවේණික රිලවුන් (Toque macaque) වර්ගය තුළ පිරිමි-පිරිමි අතර සිදුවන සමලිංගික හැසිරීම් පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් මේ වන විට ප්‍රකාශයට පත් වී තිබේ. මෙම පර්යේෂණය ‘Archives of Sexual Behavior’ සඟරාවේ 2026 ජනවාරි 26 දින ප්‍රකාශයට පත් කර ඇත.
මෙම අධ්‍යයනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ‘හන්තාන’ප්‍රදේශයේ වසරකට ආසන්න කාලයක් පුරා සිදු කර ඇත. රිලවුන් කණ්ඩායම් දෙකක් නිරීක්ෂණය කරමින්, ලිංගික හැසිරීම් 443ක් සටහන් කර තිබේ. ඒවායින් සම්පූර්ණයෙන් 47%ක් සමලිංගික හැසිරීම් බව හඳුනාගෙන ඇත.
විශේෂ කරුණ වන්නේ, මෙම සමලිංගික හැසිරීම් අතරින් 97%කට ආසන්න ප්‍රමාණයක් ම පිරිමි-පිරිමි අතර සිදුවී තිබීමයි. ස්ත්‍රී-ස්ත්‍රී අතර එවැනි හැසිරීම් ඉතා අඩුවෙන් පමණක් වාර්තා වී ඇත. පර්යේෂකයන් සඳහන් කරන්නේ, මෙවැනි හැසිරීම් බොහෝ විට තරුණ පිරිමි රිලවුන් අතර සිදුවූ බවයි. කණ්ඩායමේ බලවත් පිරිමි රිලවුන්ට ස්ත්‍රී රිලවුන් සමඟ වැඩි අවස්ථා ලැබීම නිසා, තරුණ රිලවුන් අතර වෙනත් ආකාරයේ සම්බන්ධතා වර්ධනය විය හැකි බව ඔවුන් යෝජනා කර ඇත.
ලෝකයේ අනෙකුත් වානර විශේෂවල ද මෙවැනි හැසිරීම් වාර්තා වී ඇති බැවින්, මෙය අසාමාන්‍ය දෙයක් නො ව, පරිණාමය තුළින් පැවති ලක්ෂණයක් විය හැකි බවත් පර්යේෂණය පෙන්වා දෙයි.
මෙම අධ්‍යයනයෙන් පෙන්වන්නේ, වානර සමාජ ජීවිතය අප සිතනවාට වඩා සංකීර්ණ සහ විවිධත්වයෙන් පිරුණු බවයි. එය සත්ත්ව හැසිරීම් හා පරිණාමය ගැන අපගේ අවබෝධය තවත් විස්තර කරයි.