හෙට දිනවන නිරෝගී පරපුරක් වෙනුවෙන්  පෙර පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් කරමු

අපේ ජීවිතවල අප වැඩියෙන් ම  ඔසවා තබන සහ වටිනා ම සම්පත වන්නේ අපේ දරුවන් ය. ‘වැඩිහිටියකු වූ පසු හදනවාට වඩා පුංචි අවධියේ දී මරුවා හැඩගැස්වීම රටටත් ලෝකයටත් වඩාත් වැදගත් ය’ යන ප්‍රකට කියමනෙහි සැබෑ හරය වන්නේ  “දරුවකුගේ මුල් ළමා වියේ පදනම කෙතරම් ශක්තිමත් විය යුතු ද”යන්න ය. දරුවකු මෙලොවට බිහි වූ දා සිට මුල් අවුරුදු පහක කාලයිමුල් ළමා විය ලෙස සැලකෙන අතර, එහි දී නිවසින් ලැබෙන අවිධිමත් අධ්‍යාපනයල විධිමත් මාවතකට යොමු කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන්නේ ‘පෙර පාසල ‘ය.

‘සෞඛ්‍යය’යනු හුදෙක් රෝගී නො වීම පමණක් ම නො වේ. එය ශාරීරික, මානසික, සමාජයීය මෙන් ම අධ්‍යාත්මික යන සෑම අංශයක  ම සුවතාව වේ. දරුවකුගේ මෙම සමස්ත සුවතාව සුරක්ෂිත කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ පළාත් සභා එක් ව වසර දහයක පමණ සිට  “ජාතික පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන”ක්‍රියාවට නංවා තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසලක සැබෑ ස්වරූපය

‘පෙර පාසලක්’යනු මුල් ළමාවියේ දරුවකුගේ සංවර්ධන අංශ සියල්ල ම ඔප්නැන්විය හැකි තැනකි. පෙර පාසල් වියේ දී දරුවකුගේ සංවර්ධනය යනු හුදෙක් අකුරු ලියා ඉලක්කම් ගණන් කිරීම නො වේ. දරුවකුගේ පූර්ණ වර්ධනය සඳහා අංශ හතරක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

1 – බුද්ධිමය සංවර්ධනය – සිතීමේ සහ අවබෝධ කර ගැනීමේ ශක්තිය වැඩි කිරීම.

2 – භෞතික සංවර්ධනය – ශාරීරික සෞඛ්‍යය මෙන් ම දළ සහ සියුම් චාලක කුසලතා වැඩි කිරීම  (උදා – වැලි පිල්ලේ සෙල්ලම් කිරීමෙන් අකුරු ලිවීමට අවශ්‍ය සියුම් මාංශ පේශි ශක්තිමත් වේ).

3 – භාෂාමය සංවර්ධනය – සන්නිවේදන හැකියා පුළුල් කිරීම.

4 – සමාජ හා චිත්තවේගීය කුසලතා සංවර්ධනය –   චිත්තවේග කළමනාකරණය මෙන් ම අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ සමාජ කුසලතා වර්ධනය කිරීම.

මෙපමණක් නො ව  පෙර පාසලක් යනු, දරුවාගේ ‘සෞඛ්‍යය සහ ආරක්ෂාව’ තහවුරු කරන තෝතැන්නකි. එනම් පෙර පාසල දරුවකුට තම සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමට සහ පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන ස්ථානයක් විය යුතු වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ දී, තත්ත්වය පරීක්ෂා කිරීමට ප්‍රශ්නාවලියක් සපයා තිබේ. මෙහි දී පෙර පාසල් ගුරුතුමියට මෙන් ම, අදාළ පාර්ශවකරුවන්ට එක් එක් පෙර පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ ක්‍රියාවලියේ දී, කිනම් තත්ත්වයක සිටිනවා ද යන වග එමගින් ස්වයං අධීක්ෂණයක් කර හැකි ය. පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට හෝ හැඳින්වීමට නම් පහත අංග 8 සම්පූර්ණ විය යුතු වේ.

1 සුරක්ෂිත භෞතික පරිසරය

    දරුවකුගේ ඉගෙනුම් පරිසරය සැමවිට ම ආරක්ෂිත සහ පිරිසිදු  විය යුතු ය. ආරක්ෂිත වැටක්, තාප්පයක්, ගේට්ටුවක් මෙන් ම දරුවන්ට නිදහසේ දුව පැන සෙල්ලම් කළ හැකි මිදුලක් තිබීම අත්‍යවශ්‍ය වේ.වටපිටාව අනතුරුදායක ස්ථානවලින් (උදා-දිරාපත්වූ ගස්, ගොඩනැගිලි, නිරාවරණයවූ ලිං වැනි) තොර වීම. මෙහි දී වැදගත් වන්නේ මිල අධික ක්‍රීඩා භාණ්ඩ නො ව, දේශීය ව සොයා ගත හැකි පොල්කටු, වැලි පුරවන ලද ටයර් වැනි සරල දේ තුළින්  පවා දරුවාට සුරක්ෂිත ව ක්‍රියාශීලී වීමට අවකාශය සැලසීමයි. කසළ බැහැර කිරීම නිසි ලෙස කිරීමට අවකාශය තිබීම. ජලය සහ වැසිකිලි පහසුකම් තිබීම. අයාලේ යන, එන්නත් නො කළ සතුන්ගෙන් තොරවීම සහ දරුවා ආරක්ෂා කිරීම වැනි සුරක්ෂිත භෞතික වටපිටාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු ය.

2 ඵලදායී ඉගෙනුම් පරිසරය

පෙර පාසල් දරුවන්ගේ සංවර්ධන අංශ සියල්ල උත්තේජන වන අයුරින් සැලසුම්ගත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. සුදුසුකම්ලත් ගුරුවරියකගේ සිට, ක්‍රියාකාරකම් ඔස්සේ ඉගෙනීමට අවශ්‍ය උපකරණ සහ මෙවලම්වලින් යුක්ත, ඉගෙනුම් පරිසරයක් පෙර පාසලෙහි තිබීම ඉතා වැදගත් වේ. එමගින් දරුවකුගේ සංවර්ධන අංශ සියල්ල සරල ක්‍රියාකාරකම් ඔස්සේ උද්දීපනය කිරීමට හැකි වීම විශේෂිත වේ.

 3 යහපත් පුරුදු ගොඩනැංවීම සඳහා ක්‍රමවේද

දරුවාට ඕනෑ ම යහපත් හැසිරීම් හඳුන්වා දීමට මෙන් ම, නිතර නිතර කිරීම මගින් එය පුරුද්දක් බවට පත් කිරීමටත්, පෙර පාසල ඉතා සුදුසු ස්ථානයකි. මෙම පුරුදු අතර,’සෞඛ්‍ය පුරුදු’ විශේෂ තැනක් ගනී. එයට හේතුව නම් යහපත් සෞඛ්‍යය, ස්ථාවර අධ්‍යාපනයට දොරටු විවර කරන අතර, රටක ආර්ථිකයට ද එය අත්‍යවශ්‍ය ම අංගයක් වන හෙයිනි. එමෙන් ම වගකීම දැරීම, කණ්ඩායම් හැඟීම, අන් අයට ගරු කිරීම, සමාව දීම, සමාව ගැනීම, ඉවසීම වැනි බොහෝ පුරුදු ද යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කිරීමේ දී අවදානය යොමු කළ යුතු කරුණු වේ.

     නිවැරදි ලෙස දෙඅත් පිරිසිදු කිරීම, තම ශරීරය පිරිසිදු කිරීම, දවසට දෙවරක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතයෙන් නිවැරදි ලෙස දත් මැදීම, තම වට පිටාව පිරිසිදු ව සහ පිළිවෙළට තබා ගැනීම, නිවැරදි ලෙස ආහාර ගැනීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු දරුවන් තුළ ඇති කිරීමට විවිධ මෙවලම්ිසෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් වැඩසටහන’ මගින් හඳුන්වා දෙමින් සිටී.

     තම හැඟීම් මෙන් ම අන් අයගේ හැඟීම් හඳුනා ගැනීම සහ ප්‍රකාශ කිරීම, භාවමය බුද්ධිය මෙන් ම මනෝ සමාජයීය ව යහපත් වීමේ අඩිතාලම වේ. මේ සඳහා, පියවර 4කින් යුතු ක්‍රියාකාරකමක් මෙන් ම මූලික හැඟීම් 5ට අදාළ හැඟීම් කාඩ්පත් 5ක් පෙර පාසල් දරුවන් සඳහා නිර්මාණය කර දැනට පෙර පාසල්වලට හඳුන්වා දෙමින් පවතී.

ප්‍රවර්ධන පෙර පාසලක තිබිය යුතු අංග 8

පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මට්ටමට පැමිණීමට මෙම නිර්ණායක සපුරාලිය යුතු ය.

සුරක්ෂිත පරිසරය

අනතුරුදායක නොවන පිරිසිදු වටපිටාව සහ ක්‍රීඩා පිටිය

ඵලදායී ඉගෙනුම් වටපිටාව

දරුවා උත්තේජනය කරන උපකරණ සහ ක්‍රියාකාරකම්

යහපත් සෞඛ්‍ය පුරුදු

අත් සේදීම, දත් මැදීම සහ හැසිරීම් පුරුදු කිරීම

ක්‍රියාශීලී දිවිපෙවත

දිනකට විනාඩි 180ක් ක්‍රියාශීලී වීම (ඉන් විනාඩි 60ක් තීව්‍ර ක්‍රියාකාරකම්)

සන්නිවේදන මැදිහත් වීම

පෝෂණය (දේදුනු ප්‍රහේලිකාව) සහ පිරිසිදු ජලය පානයට හුරු කිරීම

චර්යාත්මක අධීක්ෂණය

දරුවාගේ වෙනස්කම් පිළිබඳ ව ගුරුවරිය අවධානයෙන් සිටීම

සෞඛ්‍ය අංශ සහයෝගීතාව

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි, මහජන සෞඛ්‍ය පරීක්ෂක වැනි නිලධාරීන්ගේ මැදිහත් වීම

ප්‍රජා සහභාගීත්වය

දෙමාපියන් සහ ප්‍රජාව එක්ව කටයුතු කිරීම

4 ක්‍රියාශීලී දිවිපෙවත සහ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම

     ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ දරුවකු දිනකට විනාඩි 180ක් ක්‍රියාශීලී විය යුතු බවයි. මෙයින් විනාඩි 60ක්, මධ්‍යස්ථ හෝ තීව්‍ර ක්‍රියාකාරකම්, එනම් හෘද ස්පන්දනය වේගවත් වන පරිදි දුව පැන සෙල්ලම් කිරීම, පැනීම හෝ බයිසිකල් පැදීම වැනි දේ විය යුතු ය. පෙර පාසල තුළ දරුවකු විනාඩි 45කට වඩා එකතැන ඉඳගෙන සිටීම නුසුදුසු බැවින්, සෑම පැය භාගයකට ම වරක් කුඩා ක්‍රියාකාරකම් ඔස්සේ දරුවා නැගිටුවීම සහ ක්‍රියාශීලී කිරීම  වැදගත් වේ.

මේ සඳහා විවිධ දළ චාලක සහ සියුම් චාලක කුසලතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් රාශියක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් හඳුන්වා දී තිබේ. ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම දැනට කරමින් පවතින අතර වසර 3ක් තුළ දිවයිනේ සියලු පෙර පාසල්වලට මෙම වැඩසටහන ලබා දීමට දැනට කටයුතු තිබේ.

ඩිජිටල් තිරය පසෙක ලා සෙල්ලම් කිරීම පෙළඹවීම සඳහා,ිහති වැටෙන තුරු විනෝද වෙමු’ නමින් කතන්දර පොතක් ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, අනෙකුත් පාර්ශවකරුවන් ද එක්ව පෙර පාසල් දරුවන් සඳහා නිර්මාණය කර තිබේ.

5 චර්යා වෙනසක් සඳහා සන්නිවේදන මැදිහත් වීම්

චර්යා ප්‍රවර්ධනය සඳහා විවිධ වර්ගයේ සන්නිවේදන මෙවලම් රාශියක් මුල් ළමාවියේ දරුවාගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කර ක්‍රියාත්මක කර තිබේ.

01 – පුද්ගලික ස්වස්ථතාව

සෞඛ්‍ය පුරුදු ආරම්භ වන්නේ දරුවාගේ පුද්ගලික ස්වස්ථතාව පිළිබඳ ව දැනුම්වත් කිරීමෙනි. එය දරුවාගේ ආත්ම විශ්වාසය සහ විනය ගොඩනැංවීමට ද සෘජු ව ම බලපායි. 

අත් සේදීමේ කලාව – රෝගාබාධ රැසකින් ආරක්ෂා වීමට ඇති ප්‍රධානම මග නම් නිවැරදි ව අත් සේදීමයි. ආහාර ගැනීමට පෙර, වැසිකිළි භාවිතයෙන් හා  මිදුලේ සෙල්ලම් කිරීමෙන් පසු සබන් යොදා නිවැරදි පියවර අනුගමනය කරමින් අත් සේදීමට දරුවා ප්‍රායෝගික ව හුරු කරනු ලැබේ.මේ සඳහා පෙර පාසල තුළ දරුවාගේ උසට ගැළපෙන සින්ක් සහ ජල පහසුකම් සහ සබන් සලසා තිබීම අත්‍යවශ්‍ය වේ.

02 – පෝෂණීය ආහාර වේල

   ‘පෙර පාසල් විය’ යනු දරුවකුගේ ශාරීරික සහ මානසික වර්ධනය ඉතා වේගයෙන් සිදුවන අවධියකි. එහි දී දරුවා ලබා ගන්නා ආහාර, ඔවුන්ගේ බුද්ධි වර්ධනයට මෙන් ම රෝගවලින් ආරක්ෂා වීමේ ප්‍රතිශක්තියට සෘජු ව ම බලපායි. වර්තමානයේ බොහෝ දරුවන් පැණිරස හා කෘත්‍රිම, ආහාරවලට ඇබ්බැහි වී සිටිය ද, සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසලක් තුළ දී දරුවාට පෝෂණය පිළිබඳ ව අවබෝධය ලබා දීමට අප පොළඹවන්නේ ඉතා සුන්දර සහ ප්‍රායෝගික සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ ය.

  • 01 – දේදුනු ප්‍රහේලිකාව (Rainbow puzzle)

     මෙහි දී දරුවා දිනපතා ලබා ගන්නා ආහාර වේල දේදුන්නක් මෙන් විවිධ වර්ණවලින් යුක්ත විය යුතු බව උගන්වනු ලබයි. ප්‍රහේලිකාව නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවාට මෙම සෞඛ්‍ය පණිවුඩ ලබා දීමෙන්, දරුවා විනෝදයෙන් මෙය ඉගෙන ගනී. දිනකට එළවලු 2යි, පලතුරු 2යි කොළ පලාවක් ආහාරයට ගැනීමට දරුවා පෙළඹවීම මෙම ක්‍රියාකාරකමේ මූලිකම අරමුණ වේ.

  • 02 – ආහාර පැනලය

     දරුවාට කුමන ආහාරයක් ගත යුතු ද යන්න පිළිබඳ ව තාර්කික අවබෝධයක් ලබා දීම’ආහාර පැනලය’ (Food panel) උපකාරී වේ. මෙම බෝඩ් සෙල්ලම කිරීමේ දී, අප ආහාරයට ගත යුතු සෞඛ්‍ය සම්පන්න මූලික පෝෂක සහිත ආහාර කාණ්ඩ තුන දරුවා පහසුවෙන් ඉගෙන ගනී.

■ සිරුර වර්ධනය කරන ආහාර foods that help us grow

■ ශක්තිය ලබා දෙන ආහාර foods that give us energy

■ රෝගවලින් ආරක්ෂා කරන ආහාර foods that protect us from infections

  • 03 – පිරිසිදු  පානීය ජලය භාවිතය

 ලංකාවේ පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ සතියකට එක් වරක් හෝ පැණිබීම පානය කරන බව දත්ත පෙන්වා දෙයි. මෙය අනාගතයේ දී දරුවා දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නො වන රෝගවලට ගොදුරු වීමට ප්‍රධාන හේතුවකි.

■  තිබහට පැණිබීම වෙනුවට වතුර  දරුවාට පිපාසය දැනුණු විට සීනි  සහිත පාන වර්ග වෙනුවට පිරිසිදුවතුර පානය කිරීමට පෙර පාසල තුළ  දී හුරු කරනු ලැබේ.

■  මෙම පුරුද්ද ඇති කිරීමට මුත්‍රාවල පාට බලා වතුර බීමේ ක්‍රියාකාරකමසමග ස්ටිකරයක් නිර්මාණය කර පෙර පාසල් වෙත ලබා දී තිබේ.

■  ඉහත දැක්වූ යහපත් සෞඛ්‍ය පුරුදුහැරුණු විට, අන් අයට උදව් කිරීම, අන් අයගේ හැඟීම් දැනීම් හඳුනාගෙන සමගියෙන් කටයුතු කිරීම වැනි විවිධ යහපත් පුරුදු ප්‍රවර්ධනය කිරීමට තවත් කතාන්දර පොත් 4ක්, ළමා ගීත 10ක් පමණ මෙන් ම ළමා භූමිකා රංගන 6කින් යුතු සමාජ සහ චර්යා වෙනස්  කිරීමේ සන්නිවේදන පැකේජයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,අනෙකුත් සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් නිර්මාණය කර දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

පෝෂණය සහ සෞඛ්‍ය පුරුදු සඳහා විශේෂ ක්‍රමවේද

දේදුනු ප්‍රහේලිකාව (Rainbow puzzle)

දිනපතා එළවළු වර්ග 2ක්, පළතුරු 2ක් සහ පලා වර්ගයක් ආහාරයට ගැනීමට දිරිමත් කිරීම

ආහාර පැනලය

සිරුර වර්ධනය කරන, ශක්තිය දෙන සහ රෝගවලින් ආරක්ෂා කරන ආහාර හඳුනා ගැනීම

පැණිබීම වෙනුවට වතුර

සීනි සහිත බීම අවම කර පිරිසිදු ජලය පානයට හුරු කිරීම

6 දරුවාගේ චර්යාත්මක වෙනස්කම් අධීක්ෂණය කිරීම

 පෙර පාසල් ගුරුවරියකගේ වගකීම, හුදෙක් ඉගැන්වීම පමණක් නො ව, දරුවාගේ දෛනික හැසිරීම් සහ චර්යාත්මක වෙනස්කම් කෙරෙහි ඉතා තියුණු අවධානයක් යොමු කිරීමයි.

■  නිර්මාණශීලී අධීක්ෂණ ක්‍රමවේදථ දරුවාගේ ප්‍රගතිය මැන බැලීම සඳහා ගුරුවරු විවිධ නිර්මාණශීලී උපක්‍රම සහ ප්‍රස්ථාර (charts) භාවිත කරයි.

7 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බහුවිධ කණ්ඩායම් සමඟ සහයෝගීතාව සහ නියමිත අවස්ථාවල දී සෞඛ්‍ය පරීක්ෂාව 

‘සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල්’යනු හුදෙකලා ඒකකයක් නො ව, එය ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සමඟ සමීප ව බැඳී පවතින්නකි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය (Midwife) දරුවාගේ වර්ධන සටහන් සහ පෝෂණ මට්ටම් නිරීක්ෂණය කිරීමට ඇයගේ සහය නිරන්තරයෙන් ලබා ගනී.

■  මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI)

පෙර පාසල් පරිශ්‍රයේ සෞඛ්‍යාරක්ෂිත බව, ජල පහසුකම් සහ කසළ කළමනාකරණය ප්‍රමිතියට අනුව සිදුවන්නේ දැයි සොයා බැලීමට ඔහුගේ දායකත්වය වැදගත් වේ.

■  පාසල් දන්ත චිකිත්සක (School Dental Therapist) – දරුවන්ගේ මුඛ සෞඛ්‍යය පරීක්ෂා කිරීම සහ යහපත් දන්ත පුරුදු ඇති කිරීම සඳහා ඔවුන්ගේ සේවය ගනු ලබයි.

8 ප්‍රජා සහභාගිත්වය සහ සමූහ වගකීම  (Community Engadgement)

 පෙර පාසල යනු ප්‍රජාවකි. එහි දරුවා, ගුරුතුමිය, සේවකයින්, දෙමව්පියන් මුල්තැන ගන්න අතර, අසල්වැසියන්, සෞඛ්‍ය, මුල් ළමාවිය සහ පූර්ව ළමාවිය නිලධාරීන් ද සහ අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන් ද පෙර පාසල් ප්‍රජාවේ වැදගත් අංග වේ. මෙම සියලු දෙනාගේ සහභාගීත්වය සහ සහයෝගීතාව, පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ දී ඉතා වැදගත් වේ.         

      පෙර පාසල තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය පුරුදු සාර්ථක වීමට නම් අවට ප්‍රජාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.

     පරිසර සංරක්ෂණය – විධිමත් කසළ කළමනාකරණය, ඩෙංගු මර්දන වැඩසටහන් සහ වටපිටාව පිරිසුදුව තබා ගැනීම සඳහා ගුරුවරුන්, දෙමාපියන් සහ අවට පදිංචිකරුවන් එක්ව කටයුතු කරයි.

     ප්‍රජා දායකත්වය – පෙර පාසලේ භෞතික පහසුකම් සංවර්ධනය කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වා ගැනීමට ප්‍රජාව සක්‍රීය ව දායක කර ගැනීම.

පූර්ව ළමා විය සංවර්ධනයට ඒකාබද්ධ රාජ්‍ය මෙහෙයුම

සෞඛ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හා Clean Sri Lanka වැඩසටහන එක් ව යුනිසෙෆ් ආධාර යටතේ ක්‍රියා කරනු ලැබේ

සෞඛ්‍ය අමාත්‍යාංශය මුල් වී ආරම්භ කරන ලද සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් වැඩසටහන සහ සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන ජාතික සන්නිවේදන වැඩසටහන, දැනට දිවයින පුරා සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල්වල යුනිසෙෆ් ආයතනයේ ආධාර යටතේ ක්‍රියාත්මක වේ. මෙම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ඉදිරි වසර තුනේ දී දිවයිනේ සියලු පෙර පාසල්වලට ව්‍යාප්ත කිරීම රජයේ ‘clean sri lanka’ ‘step up’ මුල් ළමා විය සංවර්ධන ජාතික මෙහෙයුම  ඔස්සේ කිරීමට බලාපොරොත්තු වේ.

‘clean sri lanka’ ‘step up’ මුල් ළමා විය සංවර්ධන ජාතික මෙහෙයුම, පූර්ණ මුල් ළමා විය සංවර්ධනයට අදාළ වන අතර, මෙහි සෞඛ්‍ය සන්නිවේදන වැඩසටහන දරුවාගේ දෛනික චර්යා, සෞඛ්‍ය සම්පන්න මාවතකට යොමු කිරීම සඳහා  ක්‍රියාත්මක වන වැඩපිළිවෙළකි. ශ්‍රී ලංකාව පුරා පෙර පාසල් 19,000ක පමණ ජාලයක් තිබේ. මෙම සෞඛ්‍ය සන්නිවේදන වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වන්නේ දිවයින පුරා විසිරී ඇති පෙර පාසල් 19,000කට අධික සංඛ්‍යාවක ගුරුවරුන් සහ දරුවන් සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියට සක්‍රීය ව දායක කර ගැනීමයි. මෙහි දී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පියවරෙන් පියවර ගුරුවරුන් පුහුණු කිරීමේ ජාතික මෙහෙයුමක් දැනට ක්‍රියාත්මක වේ. මෙහි තවත් සුවිශේෂීත්වය වන්නේ, මෙම සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමෝපායයන්, පසුගිය දා එළි දැක්වූ ජාතික පෙර පාසල් විෂය රාමුවලට ද ඇතුළත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජාතික අධ්‍යාපන ආයතනයට දායක වීම වේ. එනම් පෙර පාසල් විෂය රාමුව ඔස්සේ ද මෙම සෞඛ්‍ය සන්නිවේදන ක්‍රියාකාරකම් භාවිතයට ගුරුවරුන්ට උද්දේශනය වී තිබේ.

2030 වසර වන විට ළමයින්සහ ඔවුන් ව රැකබලාගන්නන් අතර පහත දැක්වෙන හැසිරීම් අට සාක්ෂාත් කර ගැනීම, මෙම ජාතික සෞඛ්‍ය සන්නිවේදන වැඩසටහනේ  මූලික අරමුණ වේ. පළමු චර්යා ප්‍රතිඵල හය ප්‍රධාන වශයෙන් දරුවන් තුළ බලාපොරොත්තු වන අතර හත්වන සහ අටවන හැසිරීම්හි වෙනස්කම් රැක බලාගන්නන්ගෙන් (දෙමව්පියන්, ගුරුවරුන් සහ අනෙකුත් රැක බලාගන්නා වැඩිහිටියන්) අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, එම කොටස් දෙක තුළ ද දරුවන්ට භූමිකාවක් තිබේ. මෙම අපේක්ෂිත හැසිරීම් ප්‍රතිඵල මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය සඳහා වූ ආරක්ෂණ රාමුව තුළ (nurturing care framework) සඳහන් වී ඇත.

  1. දරුවෝ පුද්ගලික සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරති.
  2. දරුවෝ නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ පරිසරය පිරිසිදු ව තබා ගැනීමට පුරුදු වී සිටිති.
  3. දරුවෝ  දිනපතා පලතුරු 2ක්, එළවළු 2ක් සහ කොළ පැහැති පලා වර්ගයක් අනුභව කරති.
  4. දරුවෝ දිනපතා නිර්දේශිත කාල සීමාවෙහි ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙති.
  5. දරුවෝ  පාලනයකින් යුතු ව නිර්දේශිත තිර කාලය පමණක් භාවිත කරති.
  6. දරුවෝ දිනපතා නිර්දේශිත කාල සීමාවට අනුව නින්ද ලබා ගනිති.
  7. දෙමාපියෝ සහ රැකබලාගන්නෝ කෑගැසීමකින් තොර ව දරුවන්ට කාරුණික ව කතා කරති.
  8. දරුවන්ට ස්වාධීන ව සහ විචාරාත්මක චින්තනයෙන් යුතු ව ඉගෙන ගැනීමට පහසුකම් සලසා ඇත.

 සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු නිසි ප්‍රමිතියකට අනුව කිරීම සඳහා ප්‍රජා වෛද්‍ය, ළමා සහ මානසික වෛද්‍ය, ළමා වෛද්‍ය වැනි විශේෂඥ වෛද්‍යවරුන්ගේ මඟ පෙන්වීම යටතේ, පෙර පාසල් සහ මුල් ළමාවිය පිළිබද විශේෂඥයයන්ගේ, ප්‍රජාවේ, පෙර පාසල් ගුරුවරුන්ගේ දායකත්වයෙන් සකස් කළ ගුරු අත්පොතක් ඇතුළු සන්නිවේදන මෙවලම් පැකේජයක් සෑම පෙර පාසලකට ම ලබා දීමට බලාපොරොත්තු වේ .

■   මෙම සන්නිවේදන පැකේජය මඟින් ඉහත සඳහන් සෞඛ්‍ය පුරුදු 8 පිළිබඳ ව මොඩුල 8කින් සන්නිවේදනය වේ. දරුවාට සන්නිවේදනය කළ යුතු පියවර ඉතා සරල ව පැහැදිලි කරයි.

■   සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවලින් බැහැර ව, දරුවාගේ සිත් ගන්නා නිර්මාණශීලී ක්‍රියාකාරකම් මෙහි අන්තර්ගත වේ.

 මෙම ක්‍රියාවලිය හා බැඳුණු තවත් සුවිශේෂී පැත්තක් වන්නේ එම පුහුණුව ලැබූ ගුරුවරු සහ පුහුණුකරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයි. බොහෝ ගුරුවරුන් ප්‍රකාශ කරන්නේ දරුවන්ට පෙර, තමන්ගේ ම සෞඛ්‍ය, මානසික සුවතාව සහ ආතතිය කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ ව මෙම වැඩසටහනින් ලැබුණු මග පෙන්වීම ඉතා අගනා බවයි.  “තමන් සුවපත් වූ විට පමණක් අන් අය ව සුවපත් කළ හැකි ය” යන පණිවිඩය මෙහි දී අවධාරණය වන අතර, බොහෝ දෙනකු පවසන්නේ මෙවැනි විද්‍යාත්මක පුහුණුවක් තමන්ගේ දරුවන්ට පවා කුඩා අවධියේ දී ලබා දීමට නොහැකි වීම පිළිබඳ ව යම් පසුතැවීමක් ඇති වන බවයි. එම නිසා ම මෙම වැඩසටහන පෙර පාසල් පද්ධතියෙන් ඔබ්බට ගොස් සමස්ත සමාජය ම ආවරණය වන පරිදි පුළුල් විය යුතු බවට දැන් විශාල ඉල්ලුමක් පවතී.

මෙම සමස්ත ක්‍රියාවලිය දෙස බැලීමේ දී අවධාරණය කරන ප්‍රධාන පණිවිඩ දෙකක් අප වෙත සමීප වේ.

     පළමුවැන්න නම්, පෙර පාසලක් තෝරා ගැනීමේ දී දෙමාපියන් සතු වගකීමයි. එහි දී පෙර පාසලක පවත්වන උත්සව හෝ බාහිර අලංකාරයට වඩා, තම දරුවාට ලැබෙන මානසික නිදහස, සෞඛ්‍ය සම්පන්න වටපිටාව සහ  ගුරුවරුන්ගේ අවධානය පිළිබඳ ව වඩාත් සැලකිලිමත් විය යුතුය.

     දෙ වැන්න නම්, දරුවකුගේ ලෝකය සුවපත් කළ හැක්කේ, ඔහු ව රැකබලා ගන්නා ගුරුවරුන් සහ දෙමාපියන් ද සුවපත් මනසකින් සහ නිරෝගී කමකින් යුක්ත වුව හොත් පමණක් බවයි.

     අවසාන වශයෙන්,ිසෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසලක්’ යනු හුදෙක් ගොඩනැගිල්ලක් නො ව, එය රජය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, මුල් ළමාවිය, පූර්ව ළමාවිය, සහ අධ්‍යාපන ක්ෂේත්‍ර, ගුරුවරුන් සහ දෙමාපියන් යන සියලු දෙනා ම එක ම අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳගෙන, දරුවාගේ අනාගතය පෝෂණයෙන් සහ සතුටෙන් පුරවන පොදු වගකීමකි. අපේ දරුවන්ගේ ලෝකය ලස්සන කළ හැක්කේ එවන් සාමූහික මැදිහත්වීමකින් පමණි.