කුස්සිය ඔසුහලක් කර ගනිමු ජීවන කුසලතාවක් ලෙස ආහාර

අද අප බොහෝ දෙනාට ආහාර වේලක් යනු හුදෙක් කුසගිනි නිවා ගැනීමට හෝ දිව පිනවීමට ගන්නා දෙයක් පමණි. එහෙත් ඔබ දන්නවා ද? ඔබ ගන්නා සෑම ආහාර වේලක් ම එක්කෝ ලෙඩ රෝගවලට එරෙහි ව සටන් කරන ඔසුවක්’ විය හැකි ය, නැත හොත් ලෙඩ රෝගවලට පාර කපන ‘විෂක්’ විය හැකි ය.
     නූතන ලෝකයේ ‘නිපුණතා සපිරි පුරවැසියකු’ යනු හුදෙක් උගතුන් හෝ රැකියාවක් කරන්නන් පමණක් නො වේ. තමාගේ සෞඛ්‍යය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට හැකි වීම පුරවැසියකු සතු විය යුතු ප්‍රධාන ම ජීවන කුසලතාවකි. එහි මුල් ම පියවර වන්නේ ආහාර සාක්ෂරතාව’ (food literacy) හෙවත් ආහාර පිළිබඳ නිවැරදි අවබෝධයයි.

ආහාර සාක්ෂරතාව යනු කුමක් ද?

     සාක්ෂරතාව යනු හුදෙක් උයන්න පිහන්න දැන ගැනීම පමණක් නො වේ. අප ගන්නා ආහාරයේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ මොනවා ද? ඒවා අපේ සිරුරේ ක්‍රියා කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳ ව ඇති දැනුම්වත්භාවයයි. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, මෙවැනි අවබෝධයක් ඇති පුද්ගලයන් දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නො වන රෝගවලින් වැළකී සිටීමටත්, යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් වැඩි සමත්කමක් දක්වයි.
 
මුළුතැන්ගෙය – රෝග වළක්වන රසායනාගාරය
 
     අපේ පැරැන්නන් ආහාරයත්, ඖෂධයත් අතර වෙනසක් දුටුවේ නැත. අද වන විට නවීන විද්‍යාව මගින් ද අපේ මුළුතැන්ගෙයි ඇති කුළුබඩුවල ඇති අසිරිමත් ගුණ තහවුරු කර ඇත.
■   දියවැඩියාව පාලනයට කුරුඳු සහ උළුහාල් රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත් ව පාලනය කිරීමට සමත් වේ.
■   ආහාර ජීර්ණයට, සූදුරු  සහ කොත්තමල්ලි ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය කර  ශරීරයට පෝෂණය උරාගැනීම පහසු කරයි.
■   රෝගවලින් ආරක්ෂා කිරීම කහවල අඩංගු සුවිශේෂී සංයෝග රෝගවලින් අප ව ආරක්ෂා කරයි.
■   මනස සහ බඩවැල් අතර සබඳතාව අප ගන්නා ආහාර අපේ බඩවැල්වල සිටින හිතකර ක්ෂුද්‍රජීවීන් පෝෂණය කරන අතර, එය සෘජු ව ම අපේ මානසික යහපත් භාවය කෙරෙහි බලපායි.
 
‘ස්වාභාවික’ වූ පමණින් ‘ආරක්ෂිත’ ද?

     අද සමාජය තුළ ස්වාභාවික ආහාර යන නාමකරණය වෙළද උපක්‍රමයක් වී ඇත ඕනෑ ම දෙයක්ස්වාභාවිකයි’ කී පමණින් එය ඕනෑවට වඩා පරිභෝජනය කිරීම අනතුරුදායක විය හැකි ය.
 
■   ඇතැම් ඖෂධීය ආහාර අධික ලෙස ගැනීමෙන් අක්මාවට හානි විය හැකි ය.
■   ඔබ දැනටමත් ගන්නා බටහිර ඖෂධ සමඟ ඇතැම් ස්වාභාවික ආහාර ප්‍රතික්‍රියා කර අතුරු ආබාධ ඇති කළ හැකි ය. එබැවින් නිවැරදි මාත්‍රාව සහ ක්‍රමය දැනගැනීම සැබෑ කුසලතාවකි.

විද්‍යාත්මක ව ආහාර පිසීම කලාවකි

     ආහාරයක ගුණය රැකෙන්නේ එය පිසින ආකාරය අනුවයි. උදාහරණයක් ලෙස කහවල ඇති ගුණය සිරුරට හොඳින් උරාගැනීමට නම් එය කළු ගම්මිරිස් සහ ස්වල්පයක් තෙල් (මේදය) සමඟ මිශ්‍ර කර පිසීම අත්‍යවශ්‍ය වේ. එමෙන් ම, ඇතැම් ආහාර පැසවීමට ලක් කිරීමෙන් (උදා■ මුදවපු කිරි, අච්චාරු වැනි දෑ නිවැරදි ව සැකසීම) පෝෂණය වැඩි කර ගත හැකි ය. මෙවැනි දෑ දැන සිටීමෙන් ඔබේ මුළුතැන්ගෙය දිනපතා රෝග වළක්වන ‘ඖෂධගාරයක්’ බවට පත්වනු ඇත.
 
හෙට දවස වෙනුවෙන් අද ගන්නා තීරණය

    අපේ පුරවැසියන් ආහාර පිළිබඳ මෙවැනි දැනුමකින් සන්නද්ධ වුව හොත්

■   රජයට සෞඛ්‍ය වෙනුවෙන් වැය කරන පිරිවැය අඩු වේ.
■   රටේ ශ්‍රම බලකාය නීරෝගී සහ ඵලදායී වේ.
■   නිරන්තරයෙන් පෙති කරල් මත යැපෙන ජීවන රටාවෙන් අපට මිදිය හැකි ය.

ආහාරය යනු හුදෙක් බඩ පිරවීමක් පමණක් නො වේ. එය ජීවිතය පවත්වාගෙන යාමේ කලාවකි. එසේ ම, සෑම පුද්ගලයකු ම දියුණු කළ යුතු අත්‍යවශ්‍ය කුසලතාවක් ද වේ. ආහාර සම්බන්ධයෙන් සමාජයේ පැලපදියම් වී ඇති වැරදි මතවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම පෝෂණවේදීන්, වෛද්‍යවරුන් සහ දේශීය වෛද්‍ය විද්‍යාඥයන් අතර ඇති සහයෝගිතාව මත ක්‍රියාත්මක විය යුතු වගකීමකි. 
 
වෛද්‍ය විමුක්ති අසහාරා
බාහිර කථිකාචාර්ය
දේශීය වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය