කතාන්දරකරණය (Storytelling) සහ තොරතුරු දෘශ්‍යමය ආකාර (Inforaphics) භාවිතයෙන් දැනුම සන්නිවේදනය

නූතන සන්නිවේදන පරිසරය තුළ තොරතුරු ප්‍රමාණය විශාල ලෙස වැඩි වීමත් සමඟ එම තොරතුරු පරිශීලකයන්ට සරල ව, පැහැදිලි ව සහ ආකර්ෂණීය ආකාරයකින් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් ව ඇත. මෙම සන්දර්භය තුළ කතාන්දරකරණය (Storytelling) සහ තොරතුරු දෘශ්‍යමය ආකාර යන ක්‍රම දෙක ම තොරතුරු සන්නිවේදනයේ බලවත් මෙවලම් ලෙස සැලකේ. කතාන්දරකරණය මිනිසුන් අතර හැඟීම් හා බුද්ධිමය සම්බන්ධතා ගොඩ නගා ගනිමින් අදහස් සහ අත්දැකීම් බෙදා ගැනීමට උපකාරී වේ. එමෙන් ම Infographics මගින් සංකීර්ණ දත්ත සහ තොරතුරු දෘශ්‍ය ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් ඒවා පහසුවෙන් අවබෝධ කර ගත හැකි බවට පත් කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ කතාන්දරකරණය සහ තොරතුරු දෘශ්‍යමය ආකාර යන සංකල්ප දෙක විස්තර කිරීම, ඒවා සමෝධානයෙන් ලැබෙන ප්‍රයෝජන හඳුනා ගැනීම සහ එවැනි දෘශ්‍ය කතාන්දර නිර්මාණය කිරීමේ දී මතු වන අභියෝග විමර්ශනය කිරීමයි.

හැඳින්වීම

මානව ඉතිහාසය පුරා ම කතාන්දර මගින් දැනුම, සංස්කෘතිය සහ අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කර ඇත. සමාජීය වශයෙන් වැදගත් සිදුවීම්, නීති, වටිනාකම් සහ අධ්‍යාපනික පණිවිඩ බොහෝ විට කතාන්දර මගින් ජනතාවට හඳුන්වා දී ඇත. නවීන තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් මාධ්‍ය සංවර්ධනයත් සමඟ දෘශ්‍ය සන්නිවේදනයට විශාල වැදගත්කමක් ලැබී ඇත. එහි දී infographics යනු දත්ත සහ තොරතුරු දෘශ්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරන සන්නිවේදන ක්‍රමයක් ලෙස ජනප්‍රියත්වය ලබා ගෙන ඇත.
     කතාන්දරකරණය සහ තොරතුරු දෘශ්‍යමය ආකාර සමෝධානයෙන් දත්ත පදනම් කර ගත් කතාන්දර නිර්මාණය කළ හැකි අතර එය පරිශීලකයන්ගේ අවධානය ආකර්ෂණය කිරීමේ දී සුවිශේෂ වැදගත්කමක් හිමි වේ. මෙම ක්‍රමය අධ්‍යාපන, පර්යේෂණ, ප්‍රතිපත්ති සන්නිවේදනය, සහ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රවල බහුල ව භාවිත වේ.

කතාන්දරකරණ සංකල්පය


     කතාන්දරකරණය යනු සිද්ධි, අත්දැකීම් හෝ අදහස් සංවිධානාත්මක ආකාරයකින් කතාන්දරයක් ලෙස ඉදිරිපත් කිරීමේ කලාව ලෙස හැඳින්විය හැකි ය. සාමාන්‍යයෙන් චරිත, පරිසරය, සිද්ධි මාලාව සහ තේමාව යන අංග සමෝධානයෙන් පාඨකයා හෝ ශ්‍රාවකයා ආකර්ෂණය කරන සම්පූර්ණ කතාන්දරයක් නිර්මාණය කෙරේ.
Denning (2006) අනුව කතාන්දරකරණය සමාජීය හා සංවිධානමය සන්නිවේදනයේ බලවත් මෙවලමක් වන අතර එය අදහස් පැහැදිලි කිරීම, උද්යෝගිමත් කිරීම සහ වෙනස්කම් ඇති කිරීම සඳහා උපකාරි වේ. කතාන්දර මගින් තොරතුරු මතකයේ තබා ගැනීම පහසු වන අතර මිනිසුන් අතර හැඟීම් හුවමාරුව ද වර්ධනය කළ හැකි වේ.
 
පර්යේෂණ අනාවරණ ඵලදායී සන්නිවේදනය සඳහා කතාන්දරකරණ ක්‍රමශිල්ප

     පර්යේෂණ මඟින් නිර්මාණය වන නව දැනුම සමාජයට ප්‍රයෝජනවත් වීමට නම් එම දැනුම නිසි ලෙස සන්නිවේදනය විය යුතු  අතර ම එම අනාවරණ සමාජයේ ප්‍රචලිත ද විය යුතු ය. බොහෝ විට පර්යේෂණ අනාවරණ සංඛ්‍යා දත්ත, වගු සහ විග්‍රහ ආකාරයෙන් ඉදිරිපත් වන බැවින් ඒවා සාමාන්‍ය පරිශීලකයන්ට අවබෝධ කර ගැනීම අපහසු විය හැකි ය. එවැනි අවස්ථාවල දී ඊට විකල්ප ක්‍රම භාවිතයෙන් පර්යේෂණ අනාවරණ සරල ව හා ආකර්ෂණීය ලෙස සන්නිවේදනය කළ හැකි නම් බොහෝ විට සාමාන්‍ය පොදු පරිශීලකයා වෙත එම දැනුම කාන්දු කළ හැකි ය. කතාන්දරකරණය (Storytelling) යනු සංකීර්ණ පර්යේෂණ දත්ත සරල ව, ආකර්ෂණීය ලෙස සහ අර්ථවත් ලෙස ඉදිරිපත් කිරීමට උපකාරි වන ක්‍රමයකි.
     කතාන්දරකරණය මඟින් පර්යේෂණ ප්‍රතිඵල දත්තමය ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගිය, පරිශීලකයාගේ අවබෝධයට ගැළපෙන ආකාරයෙන් සම්බන්ධිත අදහස් මාලාවක් ලෙස ඉදිරිපත් කළ හැකි වීම මෙහි ඇති ප්‍රබලතාවකි. මේ සඳහා පරිශීලකයාගේ පෙර දැනුම හඳුනා ගැනීම, සංකීර්ණ තොරතුරු දෘශ්‍යමය තත්ත්වයට පත් කිරීම, උපමා භාවිතයෙන් සරල කිරීම, අන්තර්ක්‍රියා, ප්‍රතිචාර/ ප්‍රතිපෝෂණ ලබා ගැනීම, සහ නිර්මාණශීලීත්වය මගින් දත්ත මනුෂ්‍යකරණය (humanizing data) යන කරුණු වැදගත් වේ.
    මෙහි දී පහත පියවර 5 අනුගමනය කළ හැකි ය.

 

  • පරිශීලකයා හඳුනා ගැනීම
  • කතාන්දරයක් නිර්මාණය
  • උපමා රූපක භාවිතය
  • දාෂ්‍ය මෙවලම් භාවිතය සහ හැඟීම් අවබෝධය
  • නිර්මාණශීලීත්වය මගින් දත්ත මනුෂ්‍යකරණය කිරීම

 

පරිශීලකයා හඳුනා ගැනීම

 
කතාන්දරකරණය සාර්ථක වීමට නම් ප්‍රථමයෙන් පරිශීලකයා කවරෙක් ද සහ ඔවුන් දැනටමත් දන්නා දේ මොනවා ද යන කරුණු හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සම්බන්ධ ව පරිශීලකයාගේ උනන්දුව සහ දැනුම් මට්ටම අවබෝධ කර ගැනීමෙන් කතාන්දරය අර්ථවත් කිරීමේ වැදගත්කම පෙන්වා දිය හැකි ය. මෙහි දී දෘශ්‍යමය ආකාර සහ කතාමය මූලිකාංග සංයුක්ත කිරීමෙන් පරිශීලකයා අවබෝධ කර ගෙන සබඳතාවක් ඇති කර ගෙන සංකීර්ණ තොරතුරු, දත්ත, හෝ දැනුම පැහැදිලි ව සහ මතක තබා ගත හැකි ආකාරයට පත් කෙරේ. මෙහි දී හුදෙක් සකස් නො කරන ලද දත්ත හෝ තොරතුරු ආකාරයට ඉදිරිපත් කරනවාට වඩා දෘෂ්‍ය ආකාර මගින් ආකර්ෂණීය, සහ මතක තබා ගැනීමට හැකි පරිදි දර්ශක, ලාංඡන, රූප, සහ සංවිධානාත්මක පිහිටුම් භාවිත කෙරේ. මෙමගින් පරිශීලකයාගේ හැඟීම් උත්පාදනය සහ ප්‍රත්‍යවේක්ෂණ දිරිමත් කළ හැකි අතර, සංකීර්ණ සංකල්ප පහසු වශයෙන් අවබෝධ කළ හැකි වේ.
     මෙම අදහසට න්‍යායික පදනමක් සපයන්නේ Ausubel ගේ ප්‍රජානන සමාග්‍රහණ න්‍යායය (Cognitive assimilation theory) යි. මෙම න්‍යායය අනුව පුද්ගලයකුට නව දැනුම ඉගෙන ගැනීමේ දී වඩාත් ම වැදගත් සාධකය වන්නේ ඔහු හෝ ඇය සන්තකයේ ඇති පෙර දැනුම වේ. නව තොරතුරු එම පෙර දැනුම සමඟ සම්බන්ධ වූ විට ඒවා පහසුවෙන් අවබෝධ කර ගත හැකි ය. එබැවින් පර්යේෂණ අනාවරණ සන්නිවේදනය කරන විට ඉදිරිපත් කරන පුද්ගලයා කතාන්දරය එම පරිශීලකයන්ගේ මනස තුළ ඇති ප්‍රජානන ව්‍යූහයන්ට Cognitive structures ගැළපෙන ලෙස සැකසිය යුතු ය. එවිට පර්යේෂණය සරල තොරතුරු මාලාවක් නො ව, පරිශීලකයාගේ දැනුම සමඟ සම්බන්ධ වන අර්ථවත් කතාන්දරයක් බවට පත් කළ හැකි වේ. 
 
කතාන්දරයක් නිර්මාණය

     කතාන්දරකරණයේ තවත් වැදගත් තාක්ෂණයක් වන්නේ දෘශ්‍ය මෙවලම් භාවිත කිරීම ය. දෘශ්‍ය ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පරිශීලකයාගේ අවධානය රඳවා ගැනීමට සහ සංකීර්ණ අදහස් පහසුවෙන් අවබෝධ කර ගැනීමට උපකාරී වේ.
   මෙහි දී සංකල්ප සිතියම් (concept maps) වැදගත් මෙවලමක් ලෙස සැලකේ. සංකල්ප සිතියම් යනු විවිධ සංකල්ප අතර සම්බන්ධතා දෘශ්‍යමය ලෙස නිරූපණය කරන චිත්‍රමය මෙවලමකි. පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ සංකල්ප සිතියම් මගින් සරල ව පෙළ ගස්වන තොරතුරු සහ සංකීර්ණ සම්බන්ධතා අතර ඇති පරතරය පියවීම, විශාල තොරතුරු ප්‍රමාණයක්  සාරාංශගත දෘෂ්‍යමය  ලෙස ඉදිරිපත් කිරීම,  දැනුම දෘශ්‍යමය  කිරීමෙන් නිවැරදි  අදහස් සහ වැරදි  අදහස් දෙක ම  පැහැදිලි ව හඳුනා ගැනීමට හැකියාව ලබා දීම සහ දෘශ්‍ය මෙවලම් භාවිතයෙන් පර්යේෂණ සොයා ගැනීම් දිගු පෙළක් ලෙස නො ව, සම්බන්ධතා පෙන්වන චිත්‍රයක් ලෙස පරිශීලකයාට ඉදිරිපත් කළ හැකි වීම යන වාසි ලබා        
ගත හැකි බවයි.
 
උපමා රූපක භාවිතය

     කතාන්දරවල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සංකීර්ණ අදහස් සරල ලෙස ඉදිරිපත් කිරීම ය. මෙය සාමාන්‍යයෙන් උපමා (analogies) සහ උදාහරණ භාවිතයෙන් සිදු කරයි. උපමා භාවිතය මගින් දන්නා දේ සහ නොදන්නා දේ අතර සම්බන්ධතාවක් ගොඩ නඟා ගත හැකි ය. එවිට නව සංකල්ප පරිශීලකයාට පහසුවෙන් අවබෝධ කර ගත හැකි ය. සංකල්ප සිතියම් තුළ ද මෙවැනි හරස් සම්බන්ධතා (cross-links) දක්නට ඇත. එමගින් විවිධ දැනුම් ක්ෂේත්‍ර අතර ඇති සම්බන්ධතා පැහැදිලි කෙරේ. මෙම ක්‍රියාවලිය මගින් පරිශීලකයා නව සංකල්පයක් කේවල තොරතුරක් ලෙස නො ව, විශාල දැනුම් ජාලයක කොටසක් ලෙස අවබෝධ කර ගත හැකි ය. එමගින් නව දැනුම අර්ථවත් ලෙස භාවිත කිරීම ද පහසු වේ. මෙය උපමා රූපක පාලම් ආකෘතිය (analogy bridge model) ලෙස හැඳින්වෙන අතර එමගින් දන්නා දැනුම සහ නව සංකල්ප සම්බන්ධ කරන ආකාරය පෙන්නුම් කෙරේ. 
 
දාෂ්‍ය මෙවලම් භාවිතය සහ හැඟීම් අවබෝධය

     කතාන්දරකරණය යනු එක් පාර්ශ්වයකින් තොරතුරු ලබා දීමක් පමණක් නො ව, අන්තර්ක්‍රියාකාරී සන්නිවේදන ක්‍රියාවලියක් වේ. කතාන්දරකරණයේ දී පරිශීලකයන්ගේ අවබෝධය මැන බැලීම සඳහා ඔවුන් සමඟ අන්තර්ක්‍රියා කිරීම වැදගත් වේ. ප්‍රශ්න ඇසීමට අවස්ථා ලබා දීම, අදහස් හුවමාරු කිරීම සහ සාකච්ඡා කිරීම මගින් මෙම අන්තර්ක්‍රියා වැඩි දියුණු කළ හැකි ය. අධ්‍යාපනික පර්යේෂණ මගින් ද පෙන්වා දෙන්නේ ගුරු-ශිෂ්‍ය අන්තර්ක්‍රියා, නිරීක්ෂණය සහ ප්‍රතිචාර සංකල්ප සිතියම් වැනි දෘශ්‍ය මෙවලම් සාර්ථක ව භාවිත කිරීමට වැදගත් බවයි. එමෙන් ම ක්‍රියාකාරකමක් අවසානයේ සෘජු ප්‍රතිචාර ලබා දීම මගින් පර්යේෂණ අනාවරණ නිවැරදි ව අවබෝධ වී ඇති ද යන්න තහවුරු කළ හැකි ය. මෙය අන්තර්ක්‍රියාකාරී සහ ප්‍රතිපෝෂණ පුඩුව interaction & feedback loop ලෙස හැඳින්වෙන අතර එය ඉදිරිපත් කරන්නා සහ පරිශීලකයන් අතර ඇති වෙන සන්නිවේදන ක්‍රියාවලිය වේ. 
 
නිර්මාණශීලීත්වය මගින් දත්ත මනුෂ්‍යකරණය කිරීම

     සංඛ්‍යා දත්ත පමණක් ඉදිරිපත් කිරීමෙන් බොහෝ විට පරිශීලකයාගේ අවධානය දිගු කාලයක් රඳවා ගැනීම අපහසු වේ. එබැවින් කතාන්දරකරණය මගින් දත්ත මනුෂ්‍යකරණය (humanizing data) කිරීම වැදගත් වේ. දත්ත මනුෂ්‍යකරණ ආකෘතියෙන් (humanizing data model) කතාන්දරකරණයෙන් සකස් නො කරන ලද දත්ත අර්ථාන්විත මානුෂීය පැහැදිලි කිරීම් බවට පරිණාමනය කිරීම පෙන්නුම් කෙරේ. මෙමගින් පෙන්වා දෙන්නේ දත්ත මනුෂ්‍ය අත්දැකීම්, හැඟීම් සහ කතාන්දර සමඟ සම්බන්ධ කිරීමෙන් ඒවා වඩාත් බලවත් ලෙස සන්නිවේදනය කළ හැකි බවයි. මෙය සිසුන්ගේ නිර්මාණශීලීත්වය, කල්පනාව සහ විමර්ශනාත්මක සිතුවිලි උත්තේජනය කරයි. විවිධ ආකාරවලින් දැනුම නිරූපණය කිරීමට අවස්ථාව ලබා දීමෙන් පුද්ගලයන්ගේ සැඟවුණු හැකියා හඳුනා ගැනීමට ද සහ දත්ත සමඟ පුද්ගලික සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට ද මෙය උපකාරී වේ.
 
තොරතුරු දෘශ්‍යමය ආකාර සංකල්පය


inforgaphics යනු දත්ත, සංඛ්‍යාත සහ සංකීර්ණ තොරතුරු දෘශ්‍ය ආකාරයෙන් ඉදිරිපත් කරන සන්නිවේදන ක්‍රමයකි. රූප, සංකේත, වගු, ප්‍රස්තාර, සහ සිතියම්  වැනි දෘශ්‍ය අංග භාවිත කරමින් තොරතුරු සංවිධානාත්මක ව ඉදිරිපත් කිරීම තොරතුරු දෘශ්‍යමය ආකාරවල මූලික ලක්ෂණය වේ. knaflic (2015) අනුව දත්ත දෘශ්‍යකරණය (data visualizationa) මගින් සංකීර්ණ දත්ත පැහැදිලි ව ඉදිරිපත් කරමින් තීරණ ගැනීම පහසු කරයි. එමෙන් Segel සහ Heer (2010) පෙන්වා දක්වන්නේ දත්ත සහ කතාන්දර එකට සම්බන්ධ කිරීම මගින් පරිශීලකයන්ට තොරතුරු ගැඹුරින් අවබෝධ කර ගැනීමට හැකි බවයි.

කතාන්දරකරණය සමඟ තොරතුරු දෘශ්‍යමය ආකාර සමෝධානයේ ප්‍රයෝජන


     කතාන්දර සහ තොරතුරු දෘශ්‍යමය ආකාර සමෝධානයෙන් සන්නිවේදනයේ ගුණාත්මකභාවය වැඩි කර ගත හැකි ය. පළමු ව, දෘශ්‍ය අංග භාවිතයෙන් පරිශීලකයන්ගේ අවධානය ඉක්මනින් ආකර්ෂණය කළ හැකි ය. දෙවනුව, සංකීර්ණ දත්ත සරල හා පැහැදිලි ආකාරයකින් ඉදිරිපත් කළ හැකි බැවින් ඒවා පහසුවෙන් අවබෝධ කර ගත හැකි ය. තෙවනුව, දෘශ්‍ය කතාන්දර මගින් තොරතුරු මතකයේ දිගුකාලීන ව තබා ගැනීමේ හැකියාව වැඩි වේ. Duarte (2014)  පෙන්වා  දක්වන්නේ දෘශ්‍ය  කතාන්දර මගින්  පරිශීලකයන්ගේ බුද්ධිමය සහ හැඟීම් අවධානය එක වර සක්‍රීය කරන බවයි. එම නිසා අධ්‍යාපනික ඉදිරිපත් කිරීම්, පර්යේෂණ වාර්තා සහ ප්‍රතිපත්ති සන්නිවේදනය තුළ තොරතුරු දෘශ්‍යමය ආකාර භාවිතය වැඩි වෙමින් පවතී.
 
අභියෝග

     තොරතුරු දෘශ්‍යමය ආකාර නිර්මාණය කිරීමේ දී අභියෝග කිහිපයක් ද පවතීග පළමු වල පරිශීලකයන්ගේ අවධානය සීමිත බැවින් තොරතුරු සංක්ෂිප්ත ව ඉදිරිපත් කිරීම අවශ්‍ය වේග දෙවනු වල නිවැරදි පණිවිඩය නිර්මාණය කිරීම සඳහා පරිශීලකයන්ගේ අවශ්‍යතා සහ පසුබිම හඳුනා ගැනීම වැදගත් වේග තෙවනු වල සුදුසු දෘශ්‍ය අංග තෝරා ගැනීම නිර්මාණකරුවන්ට අභියෝගයක් විය හැකි යග එමෙන් ම කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ දී සන්නිවේදන සහ කළමනාකරණ ගැටලු ද මතු විය හැකි ය. 
 
නිගමනය

     කතාන්දරකරණය සහ තොරතුරු දෘශ්‍යමය ආකාර යන දෙක ම නවීන සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉතා වැදගත් මෙවලම් ලෙස සැලකේ. මෙම ක්‍රම දෙක සමෝධානයෙන් සංකීර්ණ තොරතුරු සරල ව, පැහැදිලි ව සහ ආකර්ෂණීය ආකාරයෙන් ඉදිරිපත් කළ හැකි ය. පර්යේෂණ අනාවරණ සාර්ථක ලෙස සන්නිවේදනය කිරීම සඳහා කතාන්දරකරණය ඉතා ප්‍රබල ක්‍රමයකි. එය සංකීර්ණ දත්ත සරල කර පරිශීලකයාට අවබෝධ කර ගැනීමට පහසු ආකාරයකින් ඉදිරිපත් කිරීමට උපකාරී වේ. පරිශීලකයාගේ පෙර දැනුම හඳුනා ගැනීම, සංකල්ප සිතියම් වැනි දෘශ්‍ය මෙවලම් භාවිත කිරීම, උපමා මගින් සංකල්ප සරල කිරීම, අන්තර්ක්‍රියා සහ ප්‍රතිපෝෂණ ලබා ගැනීම, සහ නිර්මාණශීලීත්වය මඟින් දත්ත මනුෂ්‍යකරණය කිරීම යන කරුණු මෙම ක්‍රියාවලියේ මූලික අංග වේ. ඒ අනුව පර්යේෂකයන්, ගුරුවරුන් සහ දැනුම සන්නිවේදනය කරන සියලු පුද්ගලයන්ට කතාන්දරකරණය ක්‍රම භාවිත කිරීමෙන් පර්යේෂණ අනාවරණ වඩාත් ප්‍රබල, ආකර්ෂණීය සහ අර්ථවත් ආකාරයකින් පරිශීලකයා වෙත පත් කළ හැකි ය. එබැවින් දෘශ්‍ය කථා නිර්මාණය කිරීමේ කුසලතා සංවර්ධනය කිරීම අධ්‍යාපනඥයන්, පර්යේෂකයන් සහ සන්නිවේදන විශේෂඥයන් සඳහා වැදගත් කරුණක් වේ.
 
ආශ්‍රිත මූලාශ්‍ර
Ausubel, D. P. (1968). Educational psychology: A cognitive view. Holt, Rinehart & Winston.
Denning, S. (2005). The leader’s guide to storytelling: Mastering the art and discipline of business narrative. Jossey-Bass.
Denning, S. (2006). Effective storytelling: Strategic business narrative techniques. Strategy & Leadership, 34(1), 42–48.
Duarte, N. (2014). Data story: Explain data and inspire action through story. O’Reilly Media.
Knaflic, C. N. (2015). Storytelling with data: A data visualization guide for business professionals. Wiley.
Novak, J. D., & Cañas, A. J. (2008). The theory underlying concept maps and how to construct them. Florida Institute for Human and Machine Cognition.
Segel, E., & Heer, J. (2010). Narrative visualization: Telling stories with data. IEEE Transactions on Visualization and Computer Graphics, 16(6), 1139–1148.