
මහාචාර්යතුමනි, අපේ රටේ පුරවැසියා ශ්‍රී ලාංකිකත්වය අගයන, අභිමානවත් පුරවැසියකු වීම කොතරම් වැදගත් ද?
එය අතිශය වැදගත් කරුණක්. මනුෂ්‍යයා හැසිරෙන්නේ ඔහුට ඇති බැඳීම් අනුවයි, අපට දෙමාපියන් සමඟ බැඳීමක් තිබෙන නිසා අප ඔවුන්ට ගෞරවයෙන්, වගකීමෙන් කටයුතු කරනවා. පාසල සමඟ බැඳීමක් තිබේ නම්, එම ආයතනයේ නීති, වටිනාකම් සහ සංස්කෘතිය අගය කරමින් කටයුතු කරනවා. ඒ වගේ ම,’මේ මගේ රටය’ මේ රටට මම ණයගැති පුද්ගලයෙක් යන හැඟීමක් පුරවැසියකු තුළ ඇති වීම අතිශය වැදගත්. රටක අනන්‍යතාව සහ සම්බන්ධ වූ අභිමානය, පුද්ගල විශ්වාසය ගොඩ නැගීමේ මූලික පදනමක් ලෙස සලකන්න පුළුවන්.
අපේ ඉතිහාසය දෙස බලන විට, ශ්‍රී ලංකාවට අතිශය දිගු සහ ගැඹුරු සාම්ප්‍රදායික උරුමයක් තියෙනවා. සමහර දියුණු බටහිර රටවලටත් වඩා ඈතට දිවෙන සංස්කෘතික හා ඓතිහාසික පසුබිමක් තිබෙනවා. එහෙත්, අපට බොහෝ විට අඩුවක් ලෙස තියෙන්නේ, එම උරුමය පිළිබඳ අභිමානය සහ ශ්‍රී ලාංකිකයකු වීමේ අභිමානය නොමැතිකමයි. එම අභිමානය පුද්ගලයකුගේ ආත්මවිශ්වාසය, සමාජ වගකීම සහ ජාතික කැප වීම ශක්තිමත් කරනවා. රට පිළිබඳ ගෞරවයක් ඇති පුරවැසියකු, රටේ සම්පත්, සංස්කෘතිය සහ නීති රැක ගැනීමට ස්වාභාවික ව ම උනන්දු වෙනවා. ඒ නිසා ම, ශ්‍රී ලාංකිකත්වය අගයන අභිමානවත් පුරවැසියකු ගොඩ නැගීම යනු සාර්ථක සමාජයක් ගොඩ නැගීමේ මූලික මනෝසමාජීය පදනමක්.
ජාතික අභිමානය හා පුරවැසි වගකීම පිළිබඳ ඔබ සඳහන් කළ කරුණු සලකා බලන විට, අපේ රටේ වැඩ කරන සංස්කෘතිය සහ ජපානය වැනි දියුණු රටවල වැඩ කරන සංස්කෘතිය අතර ඔබ දකින මූලික වෙනස්කම් මොනවා ද?
ඔව්, සැලකිය යුතු වෙනසක් තිබෙනවා. උදාහරණයක් ලෙස ජපානය ගත්තොත්, එහි ජනතාව ක්‍රියාශීලී බවින් සහ කැප වීමෙන් යුතු ව කටයුතු කරනවා. ඔවුන්ගේ ජීවිත රටාව තුළ වගකීම, කාල කළමනාකරණය සහ වැඩ පිළිබඳ ගෞරවයක් පැහැදිලි ව දක්නට ලැබෙනවා. වැඩ කරන වේලාව තුළ වැඩ කිරීම සහ සමාජයට දායක වීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් වෙලා තියෙනවා.
අපේ රටේ නිවාඩු සංඛ්‍යාව සම්බන්ධවත් යම් ගැටලුවක් තියෙනවා, සති අන්තේ දවස් 2ක්, පෝය ඇතුළු ආගමික නිවාඩුත් තියෙනවා. ඒත් එක්ක ම අපේ ගැඹුරු මනෝසමාජීය ආකල්පමය ගැටලුවක් තියෙනවා. අපි බොහෝ විට කාලය භාවිත කරන්නේ සාර්ථකත්වයක් හෝ සමූහ ප්‍රතිලාභයක් සලසා ගැනීමට නො ව, පුද්ගලික කෙටි කාලීන වාසියක් සෙවීමටයි.
මම නිතර ම අවධාරණය කරන කරුණක් තමයි භාවමය බුද්ධිය (emotional intelligence) සම්බන්ධ ගැටලුව. තමන් කරන කාර්යය රටට, ආයතනයට, සමාජයට සහ අවසානයේ තමන්ට ම කොතරම් වැදගත් ද යන්න අවබෝධ කර ගැනීම එහි මූලික කොටසක්. එම අවබෝධය නොමැති ව, “අඩුවෙන් වැඩ කර වැඩියෙන් ප්රතිලාභ ලබා ගැනීම” යන ආකල්පය වර්ධනය වෙලා තිබෙනවා.
දියුණු වූ හැම ජාතියක් ම කිසියම් අවස්ථාවක දැඩි කැප වීමක්, මහන්සියක් සහ දිගුකාලීන දැක්මක් ඔස්සේ ඉදිරියට ගියා. ඉතිහාසය තුළ අපි විවේචනය කරන බොහෝ අධිරාජ්‍යවාදී රටවල් පවා, රටවල් අල්ලන්න, මොන තරම් කැප වීමක් කළා ද? මම මේ ළගක දී ගියා කොටුවේ 1839 දී හදපු බිල්ඩිමකට. ඉතින් මට හිතා ගන්න බැහැ ඒ කාලේ එහෙම දේවල් කළා ද කියල. ඒ වගේ බිල්ඩින් හදන්න ලංකාවේ මිනිසුන්ගේ ශ්‍රමය ගන්න ඇතිනේ? පිට රටකින් ඇවිල්ල සැලසුම් කරලා මෙවැනි විශ්මිත වැඩ කරලා තියෙනවා. අපි ඉතින් සුද්දන්ට බැන බැන ඉන්නවා අපෙන් වෙන්න ඕන වැඩ ටික කරන්නේ නැති ව. ඉතින් ඒ මනෝභාවය වෙනස් වෙන්න ඕන.
ඔබතුමා සඳහන් කළිභාවමය බුද්ධිය’ කියන්නේ මොකක් ද කියලා සරල ව තේරුම් ගන්නේ කොහොම ද?
‘භාවමය බුද්ධිය’ තියෙන කෙනෙකුට තමන්ගේ හැඟීම් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒ හැඟීම් තේරුම් ගත්ත නිසා, අනෙක් අයගේ හැඟීම් හොඳින් තේරුම් ගන්නත් පුළුවන්. ඒ ඔස්සේ ගැටලු විශ්ලේෂණය කර ගන්නත් නිවැරදි තීරණ ගන්නත් පුළුවන්.
‘සංජානන බුද්ධිය’ අනුව අපි ගොඩක් දේ දන්නවා. ඒත් දන්න දේ කළමනාකරණය කරලා, අනෙකාගේ හැඟීම් තේරුම් ගෙන, කණ්ඩායමක් එක්ක වැඩ කරන්න බැරි නම්, ඒක ප්‍රමාණවත් නැහැ. තමන් හැම දේ ම දන්නවා කියලා හිතන තත්ත්වයට නො යා, කොච්චර ඉගෙන ගත්තත් තව ඉගෙන ගන්න පුළුවන් කියන සිතුවිල්ල, නිහතමානීකම, සංයමය, පුළුල් මනස යන මේ ගුණ තියෙන දරුවෙක් හදන්න පුළුවන්. එහෙම දරුවෙක් හොඳ නායකයෙක්, හොඳ කණ්ඩායම් සාමාජිකයෙක් වෙයි.
සෑම පුද්ගලයෙක් ම සමහර වෙලාවට නායකයෙක්, සමහර වෙලාවට කණ්ඩායම් සාමාජිකයෙක්. ගෙදර දී තාත්තා නායකයා වෙන්න පුළුවන්, සමහර වෙලාවට අම්මා වෙන්න පුළුවන්. ඒත් සමාජයේ දී ඒ අය කණ්ඩායම් සාමාජිකයෝ.
භාවමය බුද්ධිය කියන්නේ පොත් කටපාඩම් කර ගෙන, කළු-සුදු විදිහට, හොඳ-නරක ලෙස බෙදා ගන්නා චින්තනයක් නෙමෙයි. හොඳ නරක දෙක ම එකට සංකලනය කර ගෙන තේරුම් ගන්න හැකියාවයි. භාවමය බුද්ධිය නැති කෙනකුට, තව කෙනකුගේ අඩුවක් දැක්ක ම, කලින් කරපු හොඳ දේවල් සියල්ල ම අමතක වෙන්න පුළුවන්. එහෙම අය අනෙකාගේ අදහස් අහන්නත් කැමති නෑ. ඒකට හේතුව, පූර්ව නිගමනවලින් වැඩ කරන එක. මේක වෙනස් කර ගන්න පුළුවන් කෙනෙක් තමයි භාවමය බුද්ධිය වර්ධනය කර ගත්ත කෙනා. එහෙම අය ඉවසීමෙන් අනෙකාගේ අදහස් අහන නායකයන් වෙනවා.
මේක උපතින් ම ලැබෙන දෙයක් නෙමෙයි. පුහුණු කර ගන්න පුළුවන් දෙයක්.පොත්- පත්වලින්, අත්දැකීම්වලින්, අනෙක් අයගෙන් ඉගෙන ගන්න පුළුවන්. භාවමය බුද්ධිය වර්ධනය කර ගත්ත කෙනෙකුට, අනෙකා කරන හොඳ දේවල් වගේ ම, වැරදි දේවල්වලිනුත් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.
දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් තියෙන ප්‍රධාන අභියෝගය තමයි, කොහොම ද මේක පුංචි දරුවාගේ කාලයේ ම වර්ධනය කරන්නේ කියලා. ඒකට ඉතා වැදගත් දෙයක් තමයිිධනාත්මක සිතුවිලි ‘(positive thinking)’. දරුවෝ පොඩි නිසා, ඔවුන් හැම දේ ම ඉගෙන ගන්නවා. ඒ අතර වරදිනවා. වරදිද්දි, වරදට දඬුවම් දෙන එකට වඩා, හොඳ දේ ගැන කතා කරන එක වැදගත්.උදාහරණයක් විදිහට, දරුවකුට තරහ ගියොත්, සමහර වෙලාවට ඒ හැඟීම් වචනවලින් ප්‍රකාශ කරන්න බැරි නිසා, දේවල් විසි කරනවා, හඬනවා. ඒ වෙලාවේ නියෝගාත්මක ලෙස ප්‍රතිචාර දෙනවා වෙනුවට, “ඔයාට තරහ ගියා නේද පුතේ? මට කියන්න” කියලා දරුවාගේ මට්ටමට ගිහින් කතා කරන එක වැදගත්. මෙවර ‘ගවේෂණ’ කලාපයේ ම වෙනත් ලිපියක් ඉදිරිපත් කරලා තියෙන විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය නිතර ම ඇගේ දේශනවල දී කියන දෙයක් තමයි, දරුවෝ එක්ක කතා කරන කොට දරුවාගේ මට්ටමට ගිහින්, නැත්නම් බිම ඉඳ ගෙන කතා කරන්න ඕන කියලා. නැත්නම් අපි උඩින් කතා කළොත්, දරුවාගේ බෙල්ල රිදෙනවා වගේ ම, හැඟීම් තේරුම් ගන්න බැරි වෙනවා. දරුවාගේ මට්ටමින් කතා කළොත්, දරුවාගේ හැඟීම් අපි තේරුම් ගත්ත බව පෙන්වන්න පුළුවන්.
හොඳ දේ හොඳයි කියලා ප්‍රශංසා කරන්න ඕන. වැරදි දේ කළා ම, ඒ වැරැද්ද තේරුම් යන විදිහට පැහැදිලි කරන්න ඕන. පුංචි කාලයේ දී ම තමන්ගෙන් ඔබ්බට හිතන්න, වටපිටාව පිරිසුදු ව තියා ගන්න, අම්මට, තාත්තාට, සතා සීව්පාවට ආදරේ කරන්න, මේ ගුණ පුහුණු කරන්න ඕන.
ඊට පස්සේ දරුවා පෙර පාසලට යනවා. එතැන දී අධ්‍යාපන ක්‍රමවේදය නව ලෝකයට ගැළපෙන, දරුවාට හැඩ ගැස්වෙන එකක් වීම ඉතා වැදගත්. ඒත් ඒකට සමාන්තර ව, පෙර පාසලෙන් ලබා ගන්නා දැනුම තහවුරු වෙන්න නම්, දෙමාපියන්ගේ අධ්‍යාපනය පිළිබඳ දැනුමත් පුළුල් විය යුතුයි.
ඊළඟට දරුවා ප්‍රාථමික අධ්‍යාපනයට, එතැනින් ද්විතීයක අධ්‍යාපනයට, පසු ව උසස් අධ්‍යාපනයට යනවා. ඉන් පසු ව රැකියාවකට යොමු වෙලා, රැකියාව තුළත් අධ්‍යාපනය ලබනවා. පශ්චාත් උපාධි ලබා ගන්නවා. ඒ වගේ ම, වයස් ගත වුණාමත් අත්දැකීම් විශාල වශයෙන් තිබුණත්, තවමත් ඉගෙන ගන්නවා. ඒ නිසා මං මේක දකින්නේ ජීවිතය පුරා ම පවතින අධ්‍යාපනයක් විදිහට. මේක චක්‍රීය ක්‍රියාවලියක්. ඉංග්‍රීසියෙන් කියනවා නම් iterative කියලා කිව හැකියි.
ඒක එක පැත්තක්. අනෙක් පැත්තෙන්, මං දැඩි ව විශ්වාස කරන දෙයක් තමයි, අපි සම්පූර්ණයෙන් ම සංජානන බුද්ධිය (cognitive intelligence) පමණක් වර්ධනය කළොත්, කොච්චර හොඳට ඉගෙන ගත්තත් ප්‍රමාණවත් නැහැ. දරුවා දත්ත ඔළුවට දා ගන්නවා, කෘත්‍රිම බුද්ධිය භාවිත කරනවා. එහෙත් ඒ දැනුම මනුෂ්‍යත්වයට, සහජීවනයට, සමාජයට ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න පුළුවන් විය යුතුයි.
ඒ කියන්නේ, පරිසරය ගැන හිතන, අනෙකා ගැන හිතන, රට ගැන හිතන, ලෝකය ගැන හිතන, තමන්ගෙන් ඔබ්බට හිතන දරුවෙක්. එහෙම දරුවකුට හොඳ පුරවැසියකු වෙන්න පුළුවන්. මේ සම්පූර්ණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් තමයි මම මුලින් කිව්වා වගේිභාවමය බුද්ධිය’ (emotional intelligence ) ප්‍රගුණ කරවීම. භාවමය බුද්ධියට මධ්‍යස්ථ කාර්යභාරයක් තියෙනවා කියන එක තමයි මං දැඩි ලෙස විශ්වාස කරන්නේ.
එත් එක්ක ම මට විශේෂ දෙයක් කියන්න ඕන. අද ගොඩක් දෙනා artificial intelligence ගැන කතා කරනවා. එහෙත් මං දකින්නේ ඒකටත් සීමාවක් තියෙනවා. පෙර පාසල් අවධියේ ම artificial intelligence දිය යුතුයි කියන අදහසට මං එකඟ නෑ. දරුවාගේ ස්වාභාවික බුද්ධිය වර්ධනය වීමට ඉඩ දෙන්න ඕන. තාක්ෂණය පාලනය කරන එක නෙමෙයි, තාක්ෂණික දැනුම පසුකාලීන ව ලබා දෙන්න පුළුවන්.
දරුවකුගේ මොළයේ නියුරෝන පද්ධතියෙන් 80%කට ආසන්න ව වර්ධනය වන්නේ පළමු දින 1000 තුළයි. එම කාලය තුළ දරුවා ස්වාභාවික පරිසරය තුළ, පංචෙන්ද්‍රියයන් හරහා ර්ණදැකීම, ඇසීම, සුවඳ, රස, ස්පර්ශය” ලෝකය අත්විඳීමට අවස්ථාව ලබා ගන්න ඕන. එම ස්වාභාවික අත්දැකීම් වෙනුවට තාක්ෂණය අධික ලෙස පාවිච්චි කළ හොත්, මනසේ ස්වාභාවික සංවර්ධනයට බාධා ඇති වෙන්න පුළුවන්.
එහෙත් තාක්ෂණය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. තාක්ෂණය හොඳ මෙවලමක්. වැදගත් වන්නේ අපි තාක්ෂණයට වහල් නො වී, තාක්ෂණය අපේ මෙවලමක් බවට පත් කර ගැනීමයි. තාක්ෂණය මත පමණක් විශ්වාසය තැබීම, මිනිස් සම්බන්ධතාවල චින්තනය සහ ස්වයං විශ්වාසය දුර්වල කරවන්න පුළුවන්. ඒ නිසා මෙහි දී අවශ්‍ය වන්නේ මධ්‍යම ප්‍රතිපත්තියක්. “අතිශය ප්‍රතික්ෂේප කිරීමක් හෝ අතිශය ආදරය කිරීමක් නො ව, සමාන්‍ය සහ බුද්ධිමත් භාවිතයක්”
සමාජ සම්බන්ධතා දරුවකුගේ සමස්ත වර්ධනය සඳහා අතිශය වැදගත්. දරුවකුගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වන්නේ ගෙදර සහ පාසලේයි. අලුත් ප්‍රවණතාවක් තමයි දුරස්ථ අධ්‍යාපනය දෙන එක. නිවසේ සිට ඉගෙන ගෙන විභාග සාර්ථක ව සමත් වන දරුවන් ඉන්න පුළුවන්. හැබැයි බොහෝ විට ඔවුන්ට සමාජය සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ගැනීමේ නිපුණතා, කණ්ඩායම් වැඩ, ගැටලු විසඳීම, පුද්ගල සන්නිවේදනය පැත්තෙන් දුර්වල විය හැකියි.
පොත්පත් මගින් පමණක් ඉගෙන ගත නො හැකි, ජීවිත අත්දැකීම්වලින් පුහුණ වන දක්ෂතා බොහෝ තිබෙනවා. මෙහි දී පාසලට විශාල වගකීමක් තිබෙනවා. පාසල දැනුම ලබා දෙන ස්ථානයක් පමණක් නො ව, සමාජ ජීවිතය පුහුණු කරන පරිසරයක්. එමෙන් ම දෙමාපියන්ටත් වගකීමක් තිබෙනවා දරුවන්ට ආරක්ෂිත සමාජ අත්දැකීම් ලබා දීමට, ක්‍රීඩා කිරීමට, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ සමාජ සේවා වැනි ක්ෂේත්රවලට ඔවුන් එක් කිරීමට.
සමාජ සම්බන්ධතා යනු හුදෙක් මිතුරන් ඇති කර ගැනීම පමණක් නො ව එය ජීවිතය සමඟ සම්බන්ධ වීමේ කලාව ඉගෙන ගැනීමක් බව අප මතක තබා ගන්න ඕන.
අපි කියනවා ඒකට quality time management කියලා. පොතක් කියවනවා නම් ඒකට අවධානය දෙන්න ඕන. රසාස්වාදය විඳිනවා නම් ඒක කරන්න ඕන. ගීතයක් අහන්න, ටෙලිනාට්‍යයක් බලන්න වගේ දේකට තමන් අවධානය යොමු කරනවා කියන්නේ තමන්ගේ මනස විවේකයක් ගන්නවා. රස විඳිනවා. ඉතින් ඒක හරි ම වැදගත්. දරුවන්ටත් පුරුදු කරන්න ඕන කලා කෘතියක් විඳින්න, චිත්‍රයක් අඳින්න, එහෙම නැත්නම් චිත්‍රයක් දිහා බලලා සතුටු වෙන්න. ඒ වගේ ම තමන්ගේ සමීපතමයන්ගේ උත්සවවලට සහභාගි වෙන්න. ඒ අයත් එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න. ඉතින් ඒ සියල්ල ම හරි වැදගත්. මොකද මං නිතර ම කියනවා වගේ “ගැඹුරු මුහුද හා සටනේ තනි මිනිසා ජය ගනු නොමැත.” මොක ද අපිට තනියෙන් දේවල් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ කාලය බෙදා හදා ගෙන, ගුණාත්මක ලෙස පාවිච්චි කරන එක තමයි වැදගත්.
අවසාන වශයෙන් අද ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ පරපුරට ඔබ තුමා ලබා දීමට කැමති මූලික පණිවිඩය කුමක් ද?
මූලික ව ම අපි බොහෝ දුරට අපේ මනස ඇතුළේ ධාරණය කර ගන්න ඕන අපේ රට ගැන. අපේ රටේ තියෙන වටිනාකම ගැන, අපේ රටේ අභිමානය ගැන, අපේ සම්පත් ගැන, අපේ තියෙන ශක්තීන් ගැන, ඒ වගේ ම අපේ ළමා පරපුර නඟා සිටුවන්න තනි තනි ව ගත්තහම දෙමව්පියන් කරන කැප කිරීම පිළිබඳ ව. ඒ වගේ ම මොන අඩු පාඩු තිබ්බත් අපේ අධ්‍යාපන පද්ධතියෙන් ඒකට ලැබෙන තල්ලුව ගැන. මේවා ගැන කෘතඥතාව සහ ස්තුතිවන්ත බවයි අපේ ඔළුවේ තියෙන්න ඕන. මේ තරම් අභියෝග මධ්‍යයයේ, අපේ රට අපට මේ විදිහට දෙපයින් නැගිටින්න පුළුවන් විදිහේ අභිමානවත් මිනිස්සු බවට අප ව පත් කරලා තියෙනවා. අපේ ශ්‍රී ලාංකිකයෝ ගත්තහම මං නිතර ම කියන දෙයක් තමයි, ජාතියක් විදිහට සංඛ්‍යාවෙන් කුඩා වුණත් ශ්‍රී ලාංකිකයෝ මහ පරිමාණයක් ලෝකේ ඉහළ තැන්වල ඉන්නවා.ඒ අධ්‍යාපනය කොහෙන් ද ලැබුණේ? ලංකාවෙන්. ලංකාවේ අය විවිධ හේතුවලට පිටරටට ගියාට කමක් නැහැ. හැබැයි මේ රටට සාප කරලා යන්න එපා. මං මේ තරුණ පරපුරට දෙන උපදෙස් තමයි, ලෝකේ ඕන තැනකට යන්න. හැබැයි ඒ ලෝකේ ඕන තැනකට ගිහිල්ලා දිදුලන්න පුළුවන් මිනිස්සු බවට අප ව පත් කළේ, මේ අඩු පාඩු තියෙන, මේ දුර්වලකම් තියෙන, මේ රට ඇතුළේ අපට ලැබුණු සාධනීය දේවල් සහ ඒ සඳහා අතිශය වශයෙන් කැප කිරීම සහ දාඩිය කදුළු හෙලපු අම්මා තාත්තා සහ සහෝදර සහෝදරියෝ නිසා කියලා ඔළුවේ තියා ගත්තොත් වරදින්නේ නැහැ. තමන් ලබා ගත්ත දේවල්වලට පෙරළා, තමන්ගෙන් පවුලට, රටට යමක් ආපහු දෙන්න තරම් කෘතඥ පූර්වක වෙන්න.
සාකච්ඡාව සහ සටහන
ආචාර්ය ඕෂිනී ශ්‍රී ජයසිංහ
අරුණ ප්‍රශාන්ත වලිසුන්දර
හසංගි නිශාදිනි ගමගේ